බොදුබල සේනා නමැති සංවිධානයකින් බව දක්වමින් ස්වාමීන්වහන්සේලා පස් නමක් සහ යම් පුද්ගලයින් පිරිසක් ඊයේ (23) පෙරවරුවේ කොළඔ 03, ගාලු පාරේ, අංක 73/1 හි පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට නිල අවසරයකින් තොරව ඇතුඵ වී, ˝වටරැක විජිත ස්වාමීන්වහන්සේ මෙහි සගවාගෙන සිටිනවා˝ යැයි කියමින් අමාත්‍යාංශයේ සියඵම අංශ නිල අවසරයකින් තොරව දැඩි සෝදිසියකට ලක් කිරීමේ ක්‍රියාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වන මවිසින් තරයේ හෙලා දකිමි.

රජයේ ආයතනයක් තුළට මෙලෙස අනවසරයෙන් සහ වැරදි ලෙස ඇතුඵ වී සිදුකළ මෙම කටයුත්ත නීතිය හා සාමය ගරු කරන සමාජයේ දැඩි දෝශ දර්ශනයට ලක්විය යුත්තකි. රණවිරුවන්ද, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ලක්ෂ ගණනකගේද ජීවිත අහිමි කළ 30 වසරක යුද්ධයක් අවසන් කළ සමයක, ප්‍රජාතන්ත්‍රික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ දැනට පවතින නිදහස්, සාමකාමී යුගය, මෙම බොදු බල සේනාවේ කටයුතු හේතුවෙන් අන්තරාකාරී දිශාවකට යොමුවීමේ අවදානමක්ද පවතී. එමෙන්ම මෙම කටයුතු හේතුවෙන් ආගමික සහජීවනයක් අප රට තුළ නොමැති බවට ඇතැමුන් ගෙනයන ප්‍රචාරයන්ට අනුබල දීමක්ද වේ.

මෙවන් පසුබිමක, අතිගරු ජනාධිපතිවරයා විසින් ආගමික ගැටුම් සහ පැමිණිලි විමර්ශනය කිරීමට විශේෂ පොලිස් ඒකකයක් අද දින (24)ස්ථාපනය කිරීම පිළිබදව මාගේ ප්‍රශංසාව දක්වනු කැමැත්තෙමි.   තවද ˝ජනාධිපතිවරයා ඉවත් කිරීමට හෝ වෙනත් අයෙක් ජනපති කිරීමට තමනට හැකියාව ඇතැයි˝ උදම් අනන මෙම බලසේනා ප්‍රධානීන්, රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක සැලසුම් කරුවන්දැයි සැක සහිතය. මොවුන්ගේ ක්‍රියාකාරකම් සහ පරමාර්ථ දෙස බැලීමේදී මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් වඩා දරුණු සංවිධානයක් බවද පෙනී යයි.     ජනතාවට මාර්ගෝපදේශකත්වය ලබාදිය යුතු ‍ගෞරවනීය සගරුවන, රජයේ වගකිවයුතු අමාත්‍යාංශ හා ආයතන තුළට මෙලෙස කඩා වැදී දක්වන හැසිරීම් රටතුළ වැරදි පූර්වාදර්ශ ඇතිකරන්නක්. සත්‍ය වශයෙන්ම මෙවන් අන්තවාදී හැසිරීම් හෝ ක්‍රියාවන් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාවටද පටහැනි වේ.

එබැවින් මෙම නීතිවිරෝධී ක්‍රියාවන් අප නැවත නැවතත් හෙලා දකින අතර, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියෙන් හා වගකිවයුතු අංශයන්ගෙන් ඉල්ලා සිටිමි.  

රිෂාඩ් බදියුදීන් – පා.ම.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *