අප්‍රේල් උත්සව සමයේ සාමාන්‍යයෙන් සිදුවන හීන අපනයන තත්වය සහිතව වුවද, 2014 ජනවාරි – අප්‍රේල් කාල පරාසය තුළ සමස්ථ අපනයනයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බැව් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කර ඇති නවතම (යාවකාලික) සංඛ්‍යාලේඛණ මගින් පෙන්නුම් කෙරේ.
 ඒ අනුව, 2014 ජනවාරි – අප්‍රේල් කාල පරාසය තුළ ශ්‍රී ලංකාව උපයා තිබූ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.518 ක් විය. පසුගිය වසරේ එම කාලසීමාව තුළ හිමිව තිබූ සමස්ථ අපනයන ආදායම වනුයේ ඇමරිකානු ඩොලර් බිලියන 3.059 කි. ඒ අනුව මෙම වසරේ ජනවාරි – අප්‍රේල් අපනයන වර්ධනය 15.99% ක් බැව් අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දේ.
 පසුගිය මැයි 29 වන දින පැවති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තොරතුරු හෙළිවූ අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
මෙම අවස්ථාවේදී අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ උත්සව සමයක් මෙන්ම දීර්ඝ නිවාඩුවක්ද සහිත අප්‍රේල් මාසය තුළ අපනයනයන්හි යම් අඩුවීමක් පැවතීම සාමාන්‍ය තත්වයක් වුවද, 2014 වර්ෂය ගත් කළ, පසුගිය වසරට සාපේක්ෂව, ජනවාරි – අප්‍රේල් තුළ සමස්ථ අපනයනයන්හි 15% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි. එය 2014 මුල් මාස 3 හි දැකුවූ 16% වර්ධනය තහවුරු කරන්නකි. තවද 2014 ජනවාරි – අප්‍රේල් අපනයන වර්ධනයට කාර්මික, කෘෂිකාර්මික හා ධීවර යන අංශ විශාල දායකත්වයක් දක්වා ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2014 ජනවාරි – අප්‍රේල් අපනයන වර්ධනයට අදාලව මෙහිදී එළිදැක්වූ වැඩිමනත් සංඛ්‍යාලේඛණ මෙසේය. ධීවර නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 95.68 ක්ද, කෘෂිකර්ම නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 823.07 ක්ද, කාර්මික නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 2585.88 ක්ද හිමිව තිබිණි. මෙය පිළිවෙලින්, 20%, 19% හා 13.14% ක වර්ධනයකි.
කාර්මික අංශයේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන ඇඟලුම් අපනයනයෙන් අදාල කාලපරාසය තුළ හිමිව තිබූ සමස්ථ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1592.8 ක් වූ අතර, මෙය 2013 වසරට සාපේක්ෂව 21% ක ප්‍රවර්ධනයකි. එමෙන්ම කෘෂිකර්ම අංශයේ වැඩි නියෝජනයක් සහිත තේ නිෂ්පාදන අපනයනයෙන් ලැබූ මුඵ ආදායම ඩොලර් මිලියන 498.69 ක් වූ අතර, පසුගිය වසරේ ජනවාරි – අප්‍රේල් කාලයට සාපේක්ෂව සැසඳීමේදී මෙය 14.4% ක වර්ධනයකි. මීට අමතරව, පොල් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ 62% ක වර්ධනයක් හා සකස් කළ ආහාර වර්ග,  පාවහන් හා සම්භාණ්ඩ, රබර් හා කඩදාසි නිෂ්පාදන අංශයන්ගේද 14.9% ක සැලකියයුතු වර්ධනයක් පෙන්නුම් කොට තිබිණි.  ඉහත පෙන්නුම් කළ ක්ෂේත්‍රයන්ට අමතරව විවිධ අපනයනයන් හරහා ඩොලර් මිලියන 13.85 ක් උපයා තිබූ අතර, එහි වර්ධනය 220% කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *