????????????????????????????????????

ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීමේ අරමුණින් දිවයින පුරා කුඩා පරිමාණ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ අනුව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම කර්මාන්තශාලා පිහිටුවිමට සැළසුම් කර ඇති අතර, දැනට කර්මාන්තශාලා 50ක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත. සෙසු කර්මාන්තශාලා සියය මේ වර්ෂය අවසන්වන විට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ දී පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මේ කරුණු හෙළි කළේය.

ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැලපෙන සේ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ මෙකී මධ්‍යස්ථාන මගින් පුහුණුව ලබා දේ. එක් පුහුණු මධ්‍යස්ථානයකට ප්‍රතිලාභීන් 20 දෙනෙකි. ඔවුන් පුහුණු කිරීම සඳහා පහුණුව ලත් උපදේශකයෙකු බැගින් පත් කර තිබේ.

මේ සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී අවතැන්වූ පවුල්, යුද වැන්දඹුවන්, සඳහා ප්‍රමුඛත්වය දී ඇත. ප්‍රතිලාභීන් පුහුණු කිරීමේ දී ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව යන ආයතන සම්පත් දායකත්වය දක්වනු ඇත.
මෙහි කරන නිෂ්පාදන මූලික වශයෙන් දේශීය ගැණුම්කරුවන් වෙත අලෙවි කෙරේ. අපනයන ඇඟළුම් සඳහා අගය එකතු කිරීමේ පාර්ශ්වකරුවෙකු වශයෙන් සහ මහා පරිමාණ අපනයනකරුවන්ගේ උප කොන්ත්‍රාත් ලෙස ලැබෙන ඇණවුම් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ ව්‍යාපෘතියේ පළමු අදියරට, දිවයින පුරා සමුපාකාර හා හවුල් ව්‍යාපාර පදනමින් නිෂ්පාදන මධ්‍යස්ථාන 150ක් පිහිටුවීමට අපේක්ෂා කරන අතර, ඍජු රැකියා ප්‍රමාණය 6000කි. මෙකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 287.5ක් පමණ වැය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *