ගිනි පෙට්ටි අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටි නිෂ්පාදනයේ යෙදෙන නිෂ්පාදකයින්ට අවශ්‍ය වන, පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇතිව තිබෙන ගැටලුවක් නිසා ගිනි පෙට්ටි නිෂ්පාදනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යාංශයේදී හමුවී ප්‍රකාශ කරනු ලැබීය.

මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ මීට මූලිකම හේතුව වී ඇත්තේ පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායන ද්‍රව්‍ය ආනයන ක්‍රමවේදය හා ටෙන්ඩර් පටිපාටියේ ඇති අක්‍රමවත්භාවය පිළිබඳවය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.ඩී.ආර්. රාජන් මහතා මෙසේ පැවසීය.

“ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍යවන අමුද්‍රව්‍යවල ඩෙන්ඩර් සඳහා මිළ ගණන් ඉදිරිපත් කිරීමේදී ඒවා විවෘත කරන මොහොතේ අමුද්‍රව්‍යවල සාම්පල් ඉදිරිපත් කරන්න ඕන. මීට පෙර තිබුණේ ඩෙන්ඩර් සාම්පල් ලෙස පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් ග්‍රෑම් 500 – 1000 (1kg) අතර ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමටයි. නමුත් දැන් එක් වර්ගයක් කිලෝ ග්‍රෑම් 02 ක ප්‍රමාණයක් ටෙන්ඩර් විවෘතකරන අවස්ථාවේදී ලබා දීමට සිදු වෙලා තියෙනවා. මෙම ද්‍රව්‍ය වහා ගිනි ඇවිලෙන සුලු ද්‍රව්‍යයන් නිසා එවැනි ප්‍රමාණයක සාම්පලයක් සමහර ගුවන්සේවා මඟින් ගෙන ඒමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ වගේම ඒවා (ITI) කාර්මික තාක්ෂණ ආයතනයට යවලා පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒ සඳහා සති 3-4 ක පමණ කාලයක් ගත වෙනවා. ඉන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට, ණයවර ලිපි ලබා ගැනීමට තවත් කාලයක් ගත වෙනවා. ඉන් පසුව ආයතන සොයා තොග ආ පසුව යළිත් ITIයවා පරීක්ෂා කරන්න ඕන. මේ සියල්ලම සඳහා මාස 03 කට ආසන්න කාලයක් ගත වෙනවා. මෙම ප්‍රමාදයන් නිසා වෙළෙ‍ඳපොළේ අමුද්‍රව්‍ය හිඟයක් ඇති වී ගිනිපෙට්ටි හිඟයක් ඇති වීමටද පුළුවන්. මේ තත්ත්වය නිසා දැන් අපට ගිනි පෙට්ටි නිෂ්පාදනය අත්හැර දැමීමට සිදුවී තියෙනවා. එම නිසා අපට මේ සඳහා ඉතාමත් ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න ඔබතුමාගේ මැදිහත්වීම ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි පැවසීය.

මීට පෙර අවස්ථාවකදීත් ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය කලට වේලාවට සැපයීමට නොහැකිවීම නිසා බොහෝ ගිනි පෙට්ටි කර්මාන්තශාලා මාස 03 කට ආසන්න කාලයක් වසා දමන්නට එහි හිමිකරුවන්ට සිදුවිය. මේ නිසා එම සමයේ රටේ ගිනිපෙට්ටි හිඟයක්ද ඇති විය. මෙම ගිනි පෙට්ටි කර්මාන්තශාලාවල සේවය කරනු ලබන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් වේ. ගිනිපෙට්ටි කර්මාන්තය තුළ සෘජු හා වක්‍ර රැකියාවන් කරන පිරිස 8500 ක් පමණ වේ. ගිනිපෙට්ටි නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟය නිසා කර්මාන්තශාලා වසා දැමුවහොත් එම පිරිසට රැකියා අහිමි වීම වැළැක්විය නොහැකිය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.

“ගිනිපෙට්ටි කර්මාන්තකරුවන් වශයෙන් ඔබ පත්ව තිබෙන තත්ත්වය ගැන මම කණගාටු වෙනවා. අපි ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, එම රාසායනික අමුද්‍රව්‍ය ගෙන්වීමට ඇති බාධක සියල්ලම ඉවත්කර ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි වෙලාවට ලබා දීමට මම පළමුවෙන්ම පියවර ගන්නවා. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය කඩිනමින් විසඳා දීමට මගේ අමාත්‍යාංශය මැදිහත් වීමට පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සියල්ලම ඉදිරිපත් කරලා, ඔබගේ ගැටලුවට විසඳුමක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට ඒ වගකීම පවරනවා. දින කිහිපයක් තුළ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මේ අමුද්‍රව්‍ය ගැටලුව විසඳා දෙන්න කියලා. ඒ ආකාරයට විසඳුනේ නැතිනම් මම මේක ඉහළට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කලබල නොවී අපි සාකච්ඡා කරලා මේ ගැටලුව විසඳා ගනිමු.” යැයි පැවසීය.

එහිදී ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය අමාත්‍යතුමාගේ මැදිහත්වීමට ප්‍රශංසා කළේය.

මේ අවස්ථාවට අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්.බාලසුබ්‍රමනියම්, ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කේ. ඒ.එස්. හසීර්ද අලී යන මහත්වරු ඇතුළු සාමාජික පිරිස සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *