ජල ගැලීමෙන් හානියට පත් රත්නපුරයේ විහාරස්ථාන 41ක් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂය බැගින් පරිත්‍යාග කළේය. විහාරස්ථාන සංවර්ධනය කරගැනීම සඳහා මෙම මුදල් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය බදියුදීන් අමාත්‍යවරයාට ස්තූති කළහ.

අමාත්‍යවරයා මේ පරිත්‍යාගය කෙළේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම ට 27දා පැවැත්වූ රැස්වීමක දීය. අමාත්‍ය බදියුදීන් මහතා එහි දී හින්දු කෝවිලකට හා මුස්ලිම් පල්ලි 08 ද රුපියල් ලක්ෂය බැගින් මුදල් පරිත්‍යාග කළේය.
මෙහිදී පාසල් දරුවන් වෙත ලබාදීම සඳහා පාසල් උපකරණ හා පොත්පත් රැසක් ද, හානියට පත් නිවාස සඳහා ලබාදීමට ගෘහ උපකරණ රැසක් ද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා විසින් රත්නපුර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාර දෙන ලදී.

එමෙන් ම ජල ගැලීමෙන් හානියට පත් සුළු, මධය හා මහා පරිමාණ කර්මාන්ත පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. හානියට පත් කර්මාන්ත නගා සිටුවීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයෙන් හැකි උපරිම සහයක් ලබාදෙන බවත් උපකරණ ලබා ගැනීමට සහ කර්මාන්ත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා බැංකු සමග සාකච්ඡා කර සහනදායී ක්‍රමයකට ණය මුදලක් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා එහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *