ලොව විශාලතම හා ප්‍රධාන පෙළේ ආහාර පාන ප්‍රදර්ශනයක් වන “ගල්ෆ් ෆුඩ්ස් ප්‍රදර්ශනය” (Gulf Food fair 2014) ඩුබායි’හි ලෝක වෙළද මධ්‍යස්ථානයේදී පසුගිය 23 ආරම්භ වී සිව් දිනක් පුරා පැවැත්විණි.
 2014 ගල්ෆ් ෆුඩ්ස් ප්‍රදර්ශනය හරහා පළමු දින දෙක අවසන් වන විට පමණක් ශ්‍රී ලංකා නිෂ්පාදන සදහා ඇමරිකානු ඩොලර් මිලියන 1.32 ක නිශ්චිත ඇණවුම් ප්‍රමාණයක් හිමිව තිබූ අතර, සැලකිය යුතු විමසීම් ප්‍රමාණයක් ලැබෙමින් පවතින බැව් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Gulf Food image 02
2008 වසරේ සිට මෙම ප්‍රදර්ශනය නියෝජනය කරන ශ්‍රී ලංකාව, මෙවර ප්‍රදර්ශනය සදහා සහභාගී වූයේ හත්වැනි වරටයි.
ලොව පුරා රටවල් 152 ක් නියෝජනය කරමින් ආහාර පාන නිෂ්පාදකයින්, ක්ෂේත්‍රයට අදාල සේවා සපයන්නන් සහ යන්ත්‍රෝපකරණ හා උපාංග සැපයුම්කරුවන් ඇතුඵ විශාල ප්‍රදර්ශකයින් පිරිසක් මෙම අවස්ථාව නියෝජනය කළහ. එමෙන්ම දින හතර තුළ 77,000 කට අධික නරඔන්නන් හා ගැණුම්කරුවන් පිරිසක් ගල්ෆ් ෆුඩ් 2014 ප්‍රදර්ශනය සදහා සහභාගී වී සිටියහ. ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, කොලොම්බියාව, ඩෙන්මාර්කය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය, අයර්ලන්තය, කොරියාව, ලෙබනනය හා ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් 25 කට අයත් ඉහළ මට්ටමේ දූත පිරිස්ද මෙම ප්‍රදර්ශනය සදහා සහභාගී වූහ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජිනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්ද, දේශීය ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගම්හි නියෝජිතයින්ද ඇතුඵව 50 ක පමණ දූත පිරිසක් ගල්ෆ් ෆුඩ් ප්‍රදර්ශනය සදහා සහභාගී වී සිටියහ. මැලිබන් බිස්කට්ස්, සිලෝන් බිස්කට්ස්, ආදම්ජේ ලුක්මාන්ජේ, අක්බාර් බ්‍රදර්ස්, මැබ්රොක් ටී, එච්.වී.ඒ ෆුඩ්ස්, විකී ප්ලාන්ටේෂන්, ෆින්ලේස්, සිලෝන් ටී මාර්කටින්, සිලෝන් කූල් ස්ටෝර්ස්, සිලෝන් ෆ්රෙෂ් ටී, බී.පී.එල්. ටී, ආදම් එක්ස්පෝ ආදී ප්‍රකට ශ්‍රී ලාංකික ආහාර පාන අපනයන සමාගම් මේ සදහා සහභාගී වූහ.
 Gulf Food image 03
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා ගල්ෆ් ෆුඩ්ස් ප්‍රදර්ශනය නියෝජනය කළ ශ්‍රී ලාංකික ප්‍රදර්ශන කරුවන් ඩුබායි හිදී හමුවී ඔවුන් දිරිමත් කළ අතර, ඔවුන්ගේ ප්‍රගතිය හා වෙළද අවස්ථාවන් පිළිබදවද සොයා බලන ලදී. තවද මෙවැනි ලොව විශාලතම ආහාර ප්‍රදර්ශනයකට සහභාගී වෙමින් ශ්‍රී ලාංකික නිෂ්පාදන සදහා ලොව පුරා පුඵල් ප්‍රචාරයක් ලබාදීමටත්, එමගින් රටට කීර්තියක් ලැබදීමට හා විදෙස් විනිමය උපයා දීමටත් දරන උත්සාහය වෙනුවෙන් ප්‍රදර්ශකයන් වෙත අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළකර සිටියේය.
මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකික නිෂ්පාදන අතුරින් ශ්‍රී ලංකා තේ, බෝතල් කළ තැඹිලි වතුර, කුඵබඩු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, බිස්කට් ඇතුඵ රසකැවිලි නිෂ්පාදන හා ජින්ජර් බියර් සදහා මැදපෙරදිග, ඉන්දියාව, තුර්කිය, ඇල්බීනියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඊජිප්තුව, ජෝර්දානය හා කුවේටය යන රටවලින් විශාල ඉල්ලුමක් ලැබී තිබිණි.
 Gulf Food image 04

Leave a Reply

Your email address will not be published. Required fields are marked *