ශ්‍රී ලංකාවේ නව පකිස්ථානු මහකොමසාරිස් වරයා ලෙස පත්වූ, මේජර් ජෙනරාල් සයිඩ් ෂකීල් හුසේන් මහතා අද (26) පෙරවරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවිය.
ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පකිස්ථානු සංචාරයේදී, එරට අගමැති නවාස් ෂරීෆ් මහතා හා ඇතිකරගත් එකඟතාවය අනුව, දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළඳ අගය ඇමරිකානු ඩොලර් බිලියන එකක් දක්වා ඉහළ නැංවීමට අදාල ප්‍රතිපත්තිමය තීරණ කඩිනම් කර ගැනීමත්, වර්තමානයේ පවත්නා නිදහස් වෙළඳ ගිවිසුම මත පදනම්ව ද්වීපාර්ශ්වීය වෙළඳ සබඳතා පුළුල් කිරිමත් මෙම සාකච්ඡාවේ අරමුණ විය.
මෙහිදී අදහස් දැක්වූ මහකොමසාරිස් ෂකීල් හුසේන් මහතා, ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 1948 වසරේ සිට ඉතා සුහද හා පුළුල් මට්ටමේ මිත්‍රත්වයක් පවතිනවා. නමුත් අප දෙරට අතර වෙළඳ ක්ෂේත්‍රය ගත්කළ එම පුළුල් බව දක්නට නැහැ. 2005 වසරේ සිට ශ්‍රී ලංකා – පකිස්ථානු නිදහස් වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක වුවත් අප දෙරටම එහි උපරිම වාසි නෙලාගෙන නැහැ.
 
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර වෙළඳාම අපේක්ෂිත ඉලක්ක වෙත ලඟා කරවීම ඔබේ ප්‍රමුඛ කාර්ය විය යුතුයැයි මෙම තනතුර සඳහා මා පත්කළ අවස්ථාවේ අගමැති නවාස් ෂෙරීෆ් මහතා මට කියා සිටියා. ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පකිස්ථානු සංචාරයේදී, අපගේ අගමැති නවාස් ෂරීෆ් මහතා හා එකඟතාවයට පැමිණි ආකාරයට, ඉදිරියේදී අප දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළඳාම ඇ.ඩො.බිලියන එකක් දක්වා ඉහළ නැංවීමට වහාම ක්‍රියාත්මක විය යුතුයැයි මා යෝජනා කරනවා. ඒ සඳහා මූලික තීන්දු තීරණ ගැනීමට ශ්‍රී ලංකා – පකිස්ථාන් ඒකාබද්ධ ආර්ථික කොමිෂමේ මීලඟ සැසි වාරය පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට අපේක්ෂා කරනවා. තවද එම සැසියට මත්තෙන් අපගේ වාණිජ අමාත්‍ය, කුරාම් ඛාන් මහතා මෙරටට පැමිණීමට අපේක්ෂා කරනවා. අදාල ඉලක්ක සැපිරීම පිණිස අප දෙපාර්ශ්වයෙන් විය යුතු මූලික එකඟතා ඇතිකර ගැනීම ඛාන් මහතාගේ සංචාරයේදී සිදුවේවි.
පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා ජනපතිවරයාගේ පකිස්ථානු සංචාරයේදී ඇතිකරගත් එකඟතා හා අවබෝධතා ගිවිසුම් හයට (06) අමතරව, සිමෙන්ති හා සීනි කර්මාන්ත නැංවීම සම්බන්ධ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමටද තම රජය බලාපොරොත්තු වන බැව් මහකොමසාරිස්වරයා පැවසීය. තවද දෙරට අතර සෘජු ගුවන් ගමන් දියුණු කිරීමටද අපේක්ෂා කරන බැව් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මහකොමසාරිස් වරයාට පිළිතුරු දුන්, අමාත්‍ය බදියුදීන් මහතා, පකිස්ථානය සමඟ වන වෙළඳාම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ගතයුතු සියළු පියවර ආරම්භ කොට ඇති බව පෙන්වා දුන්නේය.  එමෙන්ම පකිස්ථානු වාණිජ අමාත්‍යවරයාගේ පැමිණීම සාදරයෙන් බලාපොරොත්තු වන බවද බදියුදීන් මහතා පැවසීය.
ශ්‍රී ලංකා – පකිස්ථාන් ඒකාබද්ධ ආර්ථික කොමිසම හා ශ්‍රී ලංකා – පකිස්ථාන් ඒකාබද්ධ කාර්ය සාධන කණ්ඩායම යන කමිටු දෙකම ඉස්ලාමාබාද් නුවරදී එකවිට රැස්වීම සුදුසු බවද අමාත්‍යවරයා යෝජනා කරන ලදී. මෙමගින් කාර්ය්‍යක්ෂම හා කඩිනම් එකඟතාවයන් ඇතිකර ගැනීමට පහසුවක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.
දකුණු ආසියා කලාපයේ ඉන්දියාව හැරුණු විට, ශ්‍රී ලංකාව සමඟ ගණුදෙනු කරනු ලබන දෙවන විශාලතම රට වන්නේ පකිස්ථානයයි. නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගත් 2005 වසර වන විට ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ද්වීපාර්ශ්වික වෙළඳාම ඇ.ඩො.මිලියන 158 ක් තරම් අඩු මට්ටමක පැවතිනි. පසුගිය වසර (2014) වන විට එය ඇ.ඩො.මිලියන 354 ක් දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය විය.
ගම්මිරිස්, එළවලු, බුලත්, ස්වාභාවික රබර් සහ පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් පකිස්ථානයට සිදුකරන ප්‍රධාන අපනයනයන් වේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, එස්.එස්. මියනවෙල, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආර්.ඩී.එස්. කුමාරරත්න යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ජීවනී සිරිවර්ධන මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *