පරිසර සංරක්ෂණය අමතක කළ, අපනයන සංවර්ධනයක් රජය අපේක්ෂා නොකරන බැවින්, දේශිය විසිතුරු මසුන් රතු දත්ත ලේඛණයට ඇතුළත් වීමේ අවධානමක් පිළිබඳ අනිසි බියක් ඇතිකර නොගත යුතු යැයි, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, ඊයේ (10) පෙරවරුවේ ගලධාරී හෝටලයේදී ආරම්භ වූ, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි. විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දේශීය හා ජාත්‍යන්තර සැපයුම, නව ප්‍රවණතා, වෙළඳපොළ, වත්මන් තත්වය හා අලෙවිකරණ ගැටළු පිළිබඳ පුළුල් තීන්දු තීරණ ගැනීම සඳහා දේශීය, විදේශීය අපනයනකරුවන්, කර්මාන්තයේ විශිෂ්ඨයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන් හා විද්‍යාඥයන් ඇතුළු 200 කට අධික පිරිසක් දෙදිනක් පුරා පැවැත්වෙන (10-11) මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටිති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත කර්මාන්තයක්ව තිබූ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය අද වන විට ප්‍රධාන පෙළේ අපනයන අංශයක් ලෙස පරිවර්ථනයකට ලක්ව තිබෙනවා. ඒ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා රජය විසින් ක්‍රියාත්මක කළ දිඟුකාලීන පියවරයන් නිසාවෙන් බැව් කිව යුතුයි. විශේෂයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියත් කළ විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘති අපේ අපනයන වර්ධනයට බලපා තිබෙනවා. ඒ වගේම 2015 අයවැය ලේඛණය මගින්ද ජනාධිපතිතුමා විසින් මෙම ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා රු.මිලියන පනහක් වෙන්කර තිබෙනවා. තවද එම අයවැය හරහා ධීවර හා මත්ස්‍ය කටයුතු දිරිගැන්වීම සඳහා තවත් රු. මිලියන දෙසීයයක් ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් කර්මාන්තකරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමන්ට ස්තුතිය පුදකරනවා.

 

අප කිසිවිට ජෛව විවිධත්වයට හානි කරමින් හෝ පරිසර සංරක්ෂණය අමතක කරමින්, අපනයන සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නැහැ. එබැවින්, විසිතුරු මත්ස්‍ය අපනයනය හේතුවෙන් දේශිය විසිතුරු මසුන් රතු දත්ත ලේඛණයට ඇතුළත් වීමේ අවධානමක් පිළිබඳව කිසිවෙකුත් අනිසි බියක් ඇතිකර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ.

 

මෙහිලා සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ, ජාත්‍යන්තර වෙළඳ පොළේ අධිවටිනාකමින් යුත් අපනයන අංශයට විසිතුරු මත්ස්‍ය අංශය පත්ව තිබීමයි. ඒ අනුව, මෙම අංශයෙන් ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමට මංපෙත් විවර වී තිබෙනවා. අද වන විට දේශීය අපනයන සමාගම් 40 ක් විසින් ඇ.ඩො.මිලියන 400 ක් තරම් සුවිශාල ජාත්‍යන්තර විසිතුරු මත්ස්‍ය වෙළඳ පොළේ 2.7% ක කොටස්කරුවන්ව සිටීම අපේ රටට ආඩම්බරයක්.

 

අනෙක් සුවිශේෂී කරුණ වන්නේ, අපගේ විසිතුරු මත්ස්‍යයන් සඳහා දිනෙන් දින නව වෙළඳ පොළවල් විවෘත වෙමින් පැවතීමයි. පසුගිය වසරේදී මැදපෙරදිග රටවල් වන කටාර්, ඉරානය හා ලෙබනන් යන රටවලින් අපේ විසිතුරු මත්ස්‍යයන් සඳහා ඉහළ ඉල්ලුමක් ලැබී තිබුණා.

 Ornamental Summit 03

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා, සිංහල රජ කාලයේ, යම් යම් ස්ථාන වල, විසිතුරු ගෝල්ඩ්ෆිෂ් මසුන් බෝකිරීම සඳහා පොකුණු නිර්මාණය කොට තිබූ බව, උතුරු මැද පළාතේ පෞරාණික පුරාවස්තු ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයන්ගෙන් හෙළිවී තිබෙනවා. දුටුගැමුණු රජතුමාද ගෝල්ඩ්ෆිෂ් මසුන් ඇතිකර තිබෙන බවට සාක්ෂි තිබෙනවා. මේ අනුව මට පෙනී යන්නේ ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍යයන් ඇතිකිරීම අතින් ශ්‍රී ලාංකිකයන් ලෝකයේ මුල්පෙළේ සිටින්නට ඇති බවයි.

 

තවද විශාල ප්‍රමාණයේ විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශන 110 ක් පමණ කොළඹ දී දක්නට ලැබීමෙන් පෙනී යන්නේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය අපනයන කර්මාන්තයක් ලෙස පමණක් නොව, දේශීය වෙළඳපොළක් සහිත කර්මාන්තයක් ලෙසද සීග්‍රයෙන් දියුණු වන බවයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ මහතා, විසිතුරු මත්ස්‍ය අපනයන කර්මාන්තය නැංවීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය කාලය පුරාවටම විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. මත්ස්‍ය නිරෝධායනයට අදාල තත්ව සහතික ලබාගැනීම සඳහා දේශීය අපනයන සමාගම් 26 ක් වෙත අප උපකාර කොට තිබෙනවා. එමෙන්ම සජීවී විසිතුරු මසුන් මෙරට සිට ජාත්‍යන්තර වෙළඳ පොළවල් කරා යොමුකරවීමේදී, එම සතුන් මිය යාම වළක්වා ගැනීම වෙනුවෙන් සැලකිලිමත් විය යුතු අවශ්‍යතා සම්පාදනය කරදීමටද අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කළා.

ශ්‍රී ලංකාවට විසිතුරු මත්ස්‍ය අපනයනයේදී ප්‍රධාන ස්ථානයක් හිමිවන අතරම, වර්තමානයේ විදේශ රටවල් 40 කට අධික සංඛ්‍යාවකට කරදිය හා මිරිදිය විසිතුරු මසුන් අපනයනය කරනු ලැබේ. මෙම වෙළඳපොළ අතර, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, සිංගප්පූරුව, මලයාසියාව වැනි රටවල් සුවිශේෂී ස්ථානයක් හිමි කර ගන්නා අතර, ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන් සඳහා වන ප්‍රමුඛතම ආනයනකරු වේ. එක්සත් රාජධානිය හා ජපානය පිළිවෙලින් දෙවන හා තුන්වන ආනයනකරුවන් වේ. අපගේ අපනයන වෙළඳ පොළ අතර සිටින සිංගප්පූරුව, හොංකොං, මලයාසියාව, බහරේන් හා නෙදර්ලන්තය යන රටවල් මගින් ආනයනය කරනු ලබන විසිතුරු මසුන් එම වෙළඳ පොළවල් මගින් ප්‍රතිඅපනයනය කරනු ලැබේ. 2013 වර්ෂයේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 10.7 ක විසිතුරු මසුන් අපනයනය කර ඇති අතර, එම අගය 2012 වර්ෂයට සාපේක්ෂව 41% ක වර්ධනයකි.

 Ornamental Summit 04

මෙම අවස්ථාවට, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සරත් කුමාර ගුණරත්න, සුසන්ත පුංචිනිලමේ, ජාත්‍යන්තර විසිතුරු මත්ස්‍ය ආයතනයේ සභාපති, ජෙරල්ඩ් බැසලියර්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්, අනුර සිරිවර්ධන, ඉන්ෆෝෆිෂ් ආයතනයේ අධ්‍යක්ෂක, ආචාර්ය, අබ්දුල් බසීර් කුන්හිමොහොමඩ් යන මහත්වරුන්ද, ක්ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයින් රැසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *