ශ්‍රී ලංකාවට පාවහන් ආනයනය කිරීම සියයට 60ක සිට සියයට 20ක් දක්වා අඩුකිරීමටත් මෙරට නිෂ්පාදනය කරන පාවහන් තොග විශාල වශයෙන් විදෙස් රටවලට අපනයනය කිරීමේ හැකියාව ලැබී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්භාණ්ඩ නිෂ්පාදකයන් පිරිසක් සිය අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේ දී ය.

අදින් වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පාවහන් භාවිතයෙන් සියයට 60ක් සපයන ලද්දේ විදේශවලින් ආනයනය කිරීමෙන් බවත් මේ වනවිට මෙරට පාවහන් වෙළෙඳ පොළ සඳහා සියයට 80ක් භාණ්ඩ මෙරදීම නිෂ්පාදනය කරන බවත් අමාත්‍යවරයා බදුයිදීන් මහතා පවසයි.

එය මෙරට සපත්තු නිෂ්පාදනයේ විශාල වර්ධනයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාව පාවහන් අපනයනයෙන්  රුපියල් කෝටි 380ක් උපයා තිබිණි. අමාත්‍යවරයා පවසන්නේ එය 2015 වර්ෂ අවසානය වනවිට  රුපියල් කෝටි 1170ක් දක්වා වැඩිකර ගැනීමට හැකියාව ලැබුණු බවයි. 2016 වර්ෂයේ මුල් මාස අටේ දී පමණක් රුපියල් කෝටි 1198ක් වටිනා පාවහන් නිෂ්පාදන මෙරටින් විදෙස් රටවල් සඳහා අපනයනය කර ඇත.

2013 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේ පාවහන් අපනයන ආදායම සියයට 307 කින් වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි.

අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මෙසේ ද කීවේය.

අපේ කර්මාන්තකරුවන් 4000ක් පමණ මේ ක්ෂේත්‍රයේ නියැලී සිටිනවා. අපිට පුළුවන් වුණා අපේ රටට අවශ්‍ය පාවහන් වෙළෙඳ පොළ සඳහා මෙතෙක් අප රටෙන් දායක වූ සියයට 40ක ප්‍රමාණය සියයට 80ක් දක්වා වර්ධනය කරන්න. ඒ වගේ ම පාවහන් අපනයන ආදායමත් වැඩි කරගන්න අපිට හැකියාව ලැබී තිබෙනවා. මෙය මේ ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක්.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව පෙබරවාරි මස 03 දා සිට 05 වැනි දා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ නමවැනි වරට මෙම ප්‍රදර්ශනය පවත්වන බවයි. ප්‍රදර්ශනය සඳහා විදෙස් පාවහන් නිෂ්පාදකයන් මෙන්ම ගැනුම් කරුවන් ද පැමිණෙන බවත් එහි දී දේශීය නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන අලෙවි කරගැනීමේ අවස්ථාව සහ තාක්ෂණය හුවමාරු කරගැනීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පවසයි.

පාවහන් ඇතුළු සම්භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට මෙවැනි අවස්ථා මනා පිටිවහලක් වන බව ද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *