වෘත්තීය වශයෙන් පුහුණු ශ්‍රම බලකායක්ද, නවීණ තාක්ෂණය ආදේශ වූ රෝහල් පද්ධතියක් සහ වර්ධනය වන සංචාරක කර්මාන්තය නිසා, සංචාරක සෞඛ්‍ය කර්මාන්තය විශේෂ වෙළද නාමයක් (Brand) ලෙස ගොඩ නැංවීමට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ පවතින බැව් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
 ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙම වසරේ මැයි මස 16 සිට 18 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ආරෝග්‍යා 2014 සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය සහ ඉන්ට්‍රෑඩ් 2014 ජාත්‍යන්තර වෙළද හා කර්මාන්ත ප්‍රදර්ශනයේ නිළ එළිදැක්විම වෙනුවෙන් අද (12) පස්වරුවේ, කොළඔ හිල්ටන් හෝටලයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් කළ කළේය.
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඉතා සීග්‍රයන් දියුණු වන පසුබිමක සංචාරක සෞඛ්‍ය කර්මාන්තය හරහා වැඩි විදේශ විනිමයක් ඉපැයීමේ අවස්ථාවන් දැන් අපට උදාවී තිබෙනවා.  වෘත්තීය වශයෙන් පුහුණු වෛද්‍ය, හෙදි, සායන හා රසායනාගාර වෘත්තිකයන්, තාක්ෂණික ශිල්පීන් සහිත ශ්‍රම බලකායක්ද, නවීණ සේවා හා උපකරණ, උසස් තාක්ෂණය ආදේශ වූ රෝහල් පද්ධතියක්ද සහිත දියුණු සෞඛ්‍ය සේවයක් ස්ථාපිතව පවතින බැවින්, සංචාරක සෞඛ්‍ය කර්මාන්තය විශේෂ වෙළද නාමයක් (Brand) ලෙස ගොඩ නැංවීමට යහපත් පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් හරහා ප්‍රතිකාර ගන්නා රෝගින්ගෙන් 15% ක් පමණ විදේශිකයින්. උදාහරණයක් ලෙස මාලදිවයින් ජාතිකයින් වැඩි පිරිසක් ප්‍රතිකාර සදහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලංකා හොස්පිටල් හා ඩර්ඩන්ස් යන පෞද්ගලික රෝහල් දැනටමත් විදේශිකයන් සදහා සංචාරක සෞඛ්‍ය අංශයේ වැඩසටහන් සක්‍රීයව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ආරෝග්‍යා 2014 සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය තුළින් මෙම ක්ෂේත්‍රයේ අවස්ථා පුඵල් කිරීමට අවස්ථාව සැලසේ යැයි මා විශ්වාස කරනවා.
 ඉන්ට්‍රෑඩ් 2014 ජාත්‍යන්තර වෙළද හා කර්මාන්ත ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ආනයන අපනයන ක්ෂේත්‍රය සදහා යහපත් අත්වැලක් ලබාගත හැකි ප්‍රදර්ශනයක්. මේ අවස්ථාවේදී අපනයනය භාර අමාත්‍යවරයා ලෙස ඉතා සුභ පණිවුඩයක් ඔබට ලබාදීමටද මා කැමතියි. ඒ, පසුගිය වසරේ අප අපනයන ක්ෂේත්‍රයේ 6.3% ක වර්ධනයක් පෙන්වීමට සමත් වුණා. එය අපනයන ආදායමේ ඇමරිකානු ඩොලර් බිලියන 10.38 දක්වා වර්ධනය වූ බවයි.   එමෙන්ම 2013 දෙසැම්බර් වන විට, කර්මික අපනයන 15.2% කින් වර්ධනය වුණා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 741 ක්. මෙම අපනයන වර්ධනයට කාර්මික අංශයෙන් විශාල පිටුවහලක් හිමිවූ බැව් මා විශ්වාස කරනවා. අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාගේ ඉලක්කය වී ඇත්තේ, 2020 වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 20 ක් දක්වා නැංවීමයි.
 තවද වසර 65 ක සාඩම්බර ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවත්වනු ලබන මෙම ද්විත්ව ප්‍රදර්ශනය සදහා තම සුභපැතුම් එක්කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 1996 වසරේ ආරම්භ කළ ඉන්ට්‍රෑඩ් ප්‍රදර්ශනය හා 2005 වසරේදී ආරම්භ කළ ආරෝග්‍යා ප්‍රදර්ශනය අද වන විට ක්‍රම ක්‍රමයෙන් වර්ධනයවී ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් මට්ටමට පැමිණ තිබෙන බැව් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති, සුනිල් විජේසිංහ මහතා පැවසීය. එමෙන්ම පසුගිය වසර වල ඉන්දියාව, ජපානය, චීනය හා පකිස්ථානය යන රටවලින්ද ප්‍රදර්ශකයන්, ආයෝජකයන් හා ගැණුම්කරුවන් පැමිණි බැව්ද මෙම වසරේද එවැනි සහභාගීත්වයක් බලාපොරොත්තු වන බැව්ද විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
 ප්‍රදර්ශනයට අදාල නිල වෙබ් අඩවිය එළිදැක්වීමද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් මෙහිදී සිදුවූ අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සාම්ප්‍රදායික කර්මාන්ත හා සුඵ හා මධ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම ප්‍රදර්ශනය සදහා සහාය දක්වයි.
 DSC_8387
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ලලිත් දිසානායක, අමාත්‍යාංශ ලේකම්වරුන් වන, අනුර සිරිවර්ධන, වී.සිවඥානසෝති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ, ලක්සල සභාපති, අනිල් කොස්වත්ත, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල්, රොහාන් දඵවත්ත, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, තිලක් ගොඩමාන්න, නියෝජ්‍ය සභාපති, සුජීව සමරවීර, ලේකම් ජෙනරාල්, බන්දුල දිසානායක යන මහත්වරුන්ද, ක්ෂේත්‍රයට සම්බන්ධ ආයෝජකයන්, අපනයනකරුවන් හා සම්පත් දායකයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *