නව රජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා අද (16) පස්වරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී සිය රාජකාරි ඇරඹීය.
 
වන්නි දිස්ත්‍රික්කයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ඇතුළු සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාද මැද සිදුවූ බදියුදීන් මහතාගේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එම අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ චම්පිකා ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී, අමීර් අලී ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.
සිය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ බදියුදීන් මහතා, මේ වන විට බිලියන 11 ක් වන අපනයන ආදායම තවදුරටත් ඉහළ නැංවීම තම මූලික අභිප්‍රාය බැව් පැවසීය. එමෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමත්, ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමත් පිළිබඳ මෛත්‍රී පාලනය තුළ ඉහළ අවධානයක් යොමුකරන බැව්ද අමාත්‍යවරයා පැවසීය. කර්මාන්ත හා වාණිජ අංශයේ අනාගත වැඩපිළිවෙල සඳහා පෞද්ගලික අංශය සක්‍රිය ලෙස බද්ධ කරගැනීමට තමා අපේක්ෂා කරන බැව්ද හෙතෙම සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණයේදී කොතෙකුත් ප්‍රශ්ණකාරී තත්වයන් උද්ගත වුවද, තමා ඇතුළු මන්ත්‍රීවරුන් 70 දෙනෙකු මෛත්‍රී පාලනයකට සහාය පළකළ බැව්ද, එහි ප්‍රථිථල ලෙස උතුරු හා නැගෙනහිර පළාත්වලින් ජනපතිතුමන්ට උපරිම ජන සහයෝගයක් හිමිවූ බවද ඒ මහතා සඳහන් කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහත්වරුන් එක්ව නැවත වරක් තමා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තෝරාගැනීම පිළිබඳ බෙහෙවින් සතුටට පත්වන බවද අමාත්‍ය බදියුදීන් මහතා තවදුරටත් පැවසීය.
දින 100 වැඩපිළිවෙල තුළ තම රජය විසින් පොරොන්දු වූ ජනතාවාදී වැඩපිළිවෙල ඉටු කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බැව් සඳහන් කළ අමාත්‍යවරයා, කර්මාන්ත ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත නියෝජ්‍ය අමාත්‍යවරයෙකු තමාට හිමිවීම ගැන සතුටු වන බවද කීය.
පසුගිය රජය සමයේ පලුදු වී ගිය, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්ත්‍රියානි ආගමික සමගිය මෛත්‍රී පාලනයක් යටතේ නැවතත් ශක්තිමත් වනු ඇතැයිද, සියළු ජනතාව සමගියෙන් ජිවත් වන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට යනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
7M8A9072

Leave a Reply

Your email address will not be published. Required fields are marked *