මව් රටින් නිදහස් අධ්‍යාපනයේ ඵළ නෙළා ගන්නා බොහෝ පිරිස් තම රටට සේවය කිරීම පසෙකලා විදේශ රටවලට ගොස් එම රටවලට තම දැනුම ලබාදෙන අතර එය මෙරට සාමාන්‍ය ජනතාවට සිදුකරන විශාල අසාධාරණයක් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ පළ කෙළේය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කර තිබූ මේ උත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. කම්කරුවන්ගෙ දරුවන්, ගොවියන්ගේ දරුවන්, රජයේ සේවකයින්ගේ දරුවන්, වෛද්‍යවරු හෝ රටේ උසස් තනතුරු දරන අයගේ දරුවන් ලෙස අපේ රටේ තිබෙන නිදහස් අධ්‍යාපනයෙන් මේ කිසි කෙනෙකුට විශේෂ වරප්‍රසාද ලබාදී නැහැ. ඔවුන් හැමෝටම එක සමාන අවස්ථාවන් ලබාදී තිබෙනවා. නමුත් වර්තමානයේ ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න බොහෝ පිරිස් වැඩි පහසුකම් බලාපොරොත්තුවෙන් විදේශ රටවලට සේවය කරන්න යනවා. එහෙම කරන්න එපා කියල අපට බලකරන්න බැහැ. නමුත් ඹවුන්ට යුතුකමක් තියෙනවා තමන් උපන් රටට කිසියම් සේවයක් කරන්න”.
අද දින ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරී ආයතනයේ ඩිප්ලෝමාධාරීන් ලෙස තම ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ තරුණ පිරිසට මම ආරාධනා කරනවා අපේ රටේ සංවර්ධනයට දායක වෙන්න කියලා. ඒක ඔබලාගේ යුතුකමක් වගේම වගකීමක්. වරලත් ගණකාධිකාරීවරුන් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබාදීමට ඔබට හැකියාව තිබෙනවා.”
මෙම ආයතනය විසින් ගණකාධිකාරීවරුන් විශාල පිරිසක් අපේ රටේ විවිධ අංශ වෙත බිහිකර තිබීම ප්‍රශංසනීය කටයුත්තක්. ලංකාවේ උසස් අධ්‍යාපනයේ නිරත තරුණ තරුණයින් අතර වරලත් ගණකාධිකරණය ප්‍රචලිත කිරීම තුළින් මේ ක්‍ෂේත්‍රයේ තිබෙන රැකියා අවස්ථා වැඩි කර ඒ සඳහා එම තරුණ කොටස් යොමුකරන්න හැකියාව ලැබෙනවා යැයි ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *