යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම අප සියලු දෙනාගේ වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් රැකියා 25,000ක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ස්වයං රැකියාවල නිරතවූවන් සඳහා මූල්‍යාධාර සහ උපකරණ ලබා දීම වෙනුවෙන්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී 22දා පැවති උත්සවයක දී අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේය.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. රැකියා 25000ක් ලබා දීමේ වැඩසටහනේ මූලික කටයුතු කරගෙන යනවා. ත්‍රස්තවාදීන්ට බයේ අපේ රට ඇතෑරලා විදේශගතව ව්‍යාපාර කටයුතු කරන අයට අපි ආරාධනා කරනවා යළි අපේ රටේ ව්‍යාපාර ආරම්භ කරන්න කියලා. නැවත අපේ රටට ඇවිත් ආරම්භ කරන ව්‍යාපාර සඳහා තාවකාලික බදු සහන ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමු ව තිබෙනවා. මේ රටේ තරුණ තරුණියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ රජයේ රැකියාවක් ලැබෙන තෙක් බලා නොසිට තම උත්සාහයෙන් නැගීසිටීමට කටයුතු කරන්න කියලා. අප අමාත්‍යාංශය යටතේ තියෙන ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතනවලින් ඔබට අවශ්‍ය උදව් ගන්න පුලුවන්. ස්වයං රැකියා ඇරඹීමට අවශ්‍ය පුහුණුව තාක්ෂණික දැනුම, සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා එම ආයතන ඔබට මග පෙන්වාවි යැයි ද කීවේය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ සංකල්පයක් මත කාර්මික සංවර්ධන මණ්ඩලයේ සංවිධානයෙන් ක්‍රියාත්මක “දිවියට උදාන” වැඩසටහනට සමගාමීව ආධාර ලබා දීමේ උත්සවය පැවැත්විණි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *