2005 වසරේදී ඩොලර් මිලියන 659 ක්ව තිබූ චීන – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික වෙළඳාම, 2013 වසර වන විට ඩොලර් මිලියන 3087 ක් දක්වා වර්ධනය වී ඇති බවත්, චීනය සම්බන්ධයෙන් වන වත්මන් රජයේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති මෙම වර්ධනය කෙරේ ඉවහල් වී ඇති බවත්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
 අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, දෙවන චීන – දකුණු ආසියාතික ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය හා 22 වන කුන්මිං ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වූ, චීන – දකුණු ආසියාතික ව්‍යාපාර සංසදයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිණි.  මෙය ජුනි මස 07 වැනිදා සිට 09 දක්වා චීනයේ, කුන්මිං හිදී පැවැත්විණි. 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම භාණ්ඩ සැපයුම්කරුවා වන්නේ චීනය යි. ශ්‍රී ලංකාවට සිදුකෙරෙන ආනයන වලින් 17 % ක්ම පැමිණෙන්නේ චීනයෙන්. වර්ෂ 2005 දී චීනය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික වෙළඳාමේ අගය ඩොලර් මිලියන 659 යි. එය 2013 වන විට ඩොලර් මිලියන 3087 ක් දක්වා වර්ධනය වී තිබුණා. මෙය පස් ගුණයක වර්ධනයක්. අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ වත්මන් රජය චීනය සම්බන්ධයෙන් දක්වන ජාත්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති මේ සඳහා විශේෂයෙන් බලපා තිබෙනවා. එමෙන්ම සැලසුම් කොට ඇති චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම ක්‍රියාත්මක වීමත්, ඒහා සම්බන්ධ ද්වීපාර්ශ්වීය උපාය මාර්ගික වෙළඳ සම්බන්ධතා ථලදැරීමත් සමඟ අප දෙරට අතර අනාදිමත් කලක සිට පවත්නා වෙළඳ සබඳතාවන්හි සුවිශේෂී සන්දිස්ථානයක් සටහන් වනු ඇති බව මාගේ විශ්වාසයයි.
 09JUN2
මෙම ප්‍රදර්ශනය මීට පෙර බීජිං නගරයේදී ආරම්භ වූ 2007 වසරේදී පටන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් මේ සඳහා සහභාගී වෙනවා. 2009 වසරේදී කුන්මිං ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකික සමාගම් 64 ක් සහභාගී වුණා. මෙවර ඒ සඳහා ශ්‍රී ලාංකික සමාගම් 118 ක් සහභාගී කරවීමට, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා තිබීම සතුටට කරුණක්. පසුගිය ඉතිහාසය තුළ අපනයන සංවර්ධන මණ්ඩලයේ සංවිධානයෙන් චීනයට පැමිණි විශාලතම වෙළඳ දූත පිරිස මෙය ‍වෙනවා. එවැනි වැඩි පිරිසක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම තුලින් ප්‍රකට වන්නේ, කුන්මිං ප්‍රදර්ශනයේ ඇති සාර්ථක භාවයයි. තේ, මැණික් හා ස්වර්ණාභරණ, කලා නිර්මාණ, අත්කම් භාණ්ඩ, පොල් නිෂ්පාදන වැනි භාණ්ඩ හා මැණික් කැපීම හා ඔප දැමීම වැනි සේවා අංශයන් යටතේ මෙවර  ශ්‍රී ලාංකික අපනයනකරුවන් තම භාණ්ඩ හා සේවා මෙහි  ප්‍රදර්ශනය කරනවා.
 
ශ්‍රී ලාංකික අපනයන භාණ්ඩ සඳහා මෙවන් ජාත්‍යන්තර වෙළඳ පොළක් ලබාදීම සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කුන්මිං සංවිධායකයින්ට මාගේ කෘතඥතාවය පළකරන්න කැමතියි. ඒ වගේම 2012 වසරේදී කුන්මිං  ප්‍රදර්ශනයේදී මවිසින් කළ ඉල්ලීමට අනුව, ශ්‍රී ලාංකික අපනයනයන්හි නිරෝධායන කටයුතු පහසු කිරීම වෙනුවෙන් විශේෂ අධ්‍යයන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන්ද චීන රජයට මාගේ ස්තුතිය පුදකරනවා.
මෙම කුන්මිං ප්‍රදර්ශනය සඳහා ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකින් ගැණුම්කරුවන් හා ආනයන, අපනයන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සහභාගී වේ. එබැවින් නව වෙළඳ සබඳතා ගොඩනගා ගැනීම වෙනුවෙන්ද, අපනයන ඇණවුම් ලබාගැනීම වෙනුවෙන්ද දේශීය නිෂ්පාදකයින්ට මෙම කුන්මිං ප්‍රදර්ශනය වඩාත් වැදගත් වනු ඇත. කුන්මිං ප්‍රදර්ශනය හා ඊට සමගාමීව පැවැති, චීන – දකුණු ආසියාතික ව්‍යාපාර සංසදයේදී කලාපයේ වෙළඳ සහයෝගිතාවය වෙනුවෙන් වැදගත් යෝජනා රැසක් ඉදිරිපත් කෙරුණු අතර, විදුලිබල හා බලශක්ති, අධ්‍යාපන, සංචාරක හා ප්‍රවාහන යන අංශ යටතේ දකුණු ආසියාතික රටවල් සමඟ නව අවස්ථාවන් ඇතිකර ගැනීමට වන යෝජනාව මින් ප්‍රධාන වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *