අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් සහ සත්‍ය වසන්කරමින් ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්තියක් පළකිරීමට එරෙහිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් විජය පුවත්පත් සමාගමෙන් හා ලිපිය ලියූ වාර්තාකාරිනියගෙන් රුපියල් බිලියනයක් ඉල්ලා එන්තරවාසි යවන ලදී.

මෙම එන්තරවාසිය යාව ඇත්තේ නීතිඥ තක්ෂිලා සේරසිංහ මහත්මිය විසිනි. මෙහිදී නීතිඥ මහත්මිය විසින් සඳහන් කර ඇත්තේ අසත්‍ය තොරතුරු අතුළත් වාර්තා අගෝස්තු මස 19 වැනි දින ලංකාදීප පුවත්පතේ මුල්පිටුවේ ප්‍රකාශයට පත්කර තිබූ බවයි.

අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ නාකයා වන අතර වත්මන් රජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු විෂය භාර අමාත්‍යවරයා ද වෙයි. පිළිගත් දේශපාලන පක්ෂයකින් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතාගේ දේශපාලන දිවියේ මහජන විශ්වාසය හා ගොඩනගාගත් කීර්තිනාමය මේ පුවත හේතුවෙන් හානියට ලක්වන බවත් අමාත්‍යවරයාගේ උපදෙස් මත යවන ලද එන්තරවාසියේ දැක්වේ.

2016 අගෝස්තු මස 19 වැනි දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කර ඇත්තේ ‘‘කෝටි 500ක් රජයට පාඩු කළැයි ඇමති රිෂාඩ් 29 දා කොමිසම හමුවට“ යන සිරස්තලයෙනි. එහි අනු සිරස්තලයේ ‘‘ සහල් අතිරික්තයක් තිබිය දී පොන්නි සම්බා මෙ.ටොන් 98,375ක් ගෙන්වලා“ යනුවෙන් ද සටහන් කර තිබේ.

මෙම ලිපියේ සිරස්තලයට අනුව වරද කර ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බවට තම පාඨකයන්ට ඒත්තු යන ආකාරයෙන් ලිපිය පළකර ඇති බව තම සේවාදායකයාගේ අදහස වී ඇතැයි ද නීතිඥ මහත්මිය එන්තරවාසියේ සඳහන් කර ඇත.

බරපතල වංචා දූෂණ සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වූ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම් සභාව විසින් අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කැඳවීම සත්‍යයකි. නමුත් මේ කැඳවීමට අදාළ නොතීසිය අමාත්‍යවරයාට ලැබී ඇත්තේ අගෝස්තු මස 19 වැනි දිනැතිවය. 19 වැනිදා නිකුත් කළ නොතීසියක් එදිනම වෙළඳපොළට නිකුත් වූ ලංකාදීප පුවත්පතේ සඳහන් වන්නේ කෙසේ ද යන්න ගැටළුවකි. ඒ අනුව නොතීසියක් ලැබීමට පෙර දී ඒ පිළිබඳ පුවත්පතක පලකිරීමෙන් තම සේවාදායකයාගේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවූ බව ද නීතිඥ මහත්මිය විසින් එන්තරවාසියේ සඳහන් කර ඇත.

තව ද මේ ලිපිය පළකිරීමෙන් පිළිගත් මාධ්‍ය සම්ප්‍රදායයන් පවා උල්ලංඝනය කර ඇති බව අමාත්‍යවරයාගේ අදහසයි. මහජන නියෝජිතයකුගේ කීර්ති නාමයට හානි සිදුවිය හැකි මෙවැනි පුවතක් පළ කිරීමේ දී අගතියට පත්වන මහජන නියෝජිතයාගෙන් විමසා ඔහුගේ අදහස ද ලිපියට ඇතුළත් කිරීම පිළිගත් මාධ්‍ය සදාචාරයට අදාළ වුව ද ලංකාදීප පුවත්පතේ මේ පිළිබඳ සටහන් කරනු ලබන ලේඛකයා ඒ බව නොසලකා හැරීම ද කණගාටුවට කරුණකි.

ලංකාදීප පුවත්පතේ පලකර ඇති මේ ලිපියේ තවදුරටත් අසත්‍ය කරුණු අන්තර්ගත වෙයි. එම ලිපියේ දක්වා ඇති කරුණුවලින් ගම්‍ය වන්නේ අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කරන ලදැයි කියන වංචාවක් සම්බන්ධයෙන් සාක්කි ගැනීමට කොමිසම ඉදිරියට කැඳවා ඇති බවකි. නමුත් සත්‍යය එය නොවේ. අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කොමිසම ඉදිරියට කැඳවා ඇත්තේ ඔහු විසින් රාජ්‍ය ආර්ථිකයට හෝ ජාතික ආදායමට පාඩු කරන ලදැයි චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් විමසීමට නොව පසුගිය රජය කාලයේ සිදුවූ බව කියන පාඩුවක් සම්බන්දයෙන් පවත්වන පරීක්ෂණ කටයුතු සඳහා වර්තමාන විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට පමණි. ඒ අනුව කරුණු වරදවා පාඨකයාට ප්‍රකාශ කිරීමෙන් ද්වේශ සහගත චේතනාවෙන් යුක්තව අසත්‍ය තොරතුරු අඩංගු ලිපියක් පලකර ඇති බව නීතිඥවරිය දන්වා සිටියි.

එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ අදාළ සහල් ආනයනය සිදුකර ලද්දේ 2014 වර්ෂයේ මුදල් අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව හිටපු ජනාධිපති මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මත වන බවත් එවකට ලංකා සතොස භාරව කටයුතු කරන ලද්දේ රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයා නොවන බවත්ය. එකළ ලැබී තිබුණු කැබිනට් අනුමැතිය අනුව සහල් ආනයන කිරීමට අදාළ ගනුදෙනුවේ ඉන්දියානු සමාගමේ ඉන්වොයිසි සහ ණයවර ලිපි නිකුත් කිරීම පමණක් වත්මන් අමාත්‍යවරයා වන රිෂාඩ් බදුයිදීන් මහතාගේ කාලයේ සිදුව ඇති බව නීතිඥ මහත්වරු පුවත්පත් ආයතනය වෙත යැවූ එන්තරවාසියේ සඳහන් කර ඇත. කරුණු එසේ තිබිය දී වුව ද මේ ගනුදෙනුව සිදුව ඇත්තේ තම සේවාදායකයා වන රිෂාඩ් බදුයිදින් අමාත්‍යවරයාගේ කාලයේ යැයි චේතනාන්විතව ද්වේශ සහගත ලෙස පුවත්පතේ පළ කර ඇති බව නීතිඥ මහත්මිය සිය එන්තරවාසියේ දක්වා ඇත.

එකී හේතු මත අසත්‍ය සහ හෝ වැරදි සහගත වන තොරතුරු අඩංගු කරමින් සත්‍ය කරුණු වසන් කිරීමේ අරමුණින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසය පලුදු කිරීමේ චේතනාවෙන් ද්වේශ සහගත ලෙස කටයුතු කරන ලදැයි ද රිෂාඩ් බදුයිදීන් අමාත්‍යවරයාගේ නීතිඥ මහත්මිය විසින් යවන ලද එන්තරවාසියේ සඳහන් කර තිබේ.

ඒ අනුව ලංකාදීප පුවත්පතේ නොසැලකිලිමත් ලෙස සහ සත්‍ය කරුණු සොයා බැලීමකින් තොරව පළ කරන ලද අසත්‍ය පුවත හේතුවෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රතිරූපයට සහ කීර්තිනාමයට සිදුවූ අප්‍රතිකාරී හානිය හා පාඩුව රුපියල් බිලියනයක් ලෙස තක්සේරු කරන බව ද එන්තරවාසියේ සඳහන් කර තිබේ.

එකී පාඩුව එන්තරවාසිය එවනු ලබන අගෝස්තු මස 26 වැනි දින සිට දින 14ක් ඇතුළත තම සේවාදායකයා වන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙත ගෙවන ලෙස ද එන්තරවාසියේ දක්වා ඇත. එලෙස ගෙවීමට අපොහොසත් වන්නේ නම් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට සිදුවූ අප්‍රතිකාරි හානිය වෙනුවෙන් එම මුදල අයකරගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද එම එන්තරවාසියේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *