සිදුවෙමින් පවතින යටිතල පහසුකම් හා කාර්මික දියුණුව හේතුවෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඉතා ඉහළ අගයකට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බැව්, ලොව සුපතල ප්‍රංශයේ ඇක්සෙන්චර් උපදේශන (Accenture France) සමාගමේ අධ්‍යක්ෂ, ලොට්ෆි කිබොවා (Mr.Lotfi Kibboua) මහතා පැවසීය.

 කිබොවා මහතා මේ බැව් පැවසුවේ, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හා පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදීය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල ආයෝජන අවස්ථා පිළිබඳව සොයාබැලීමේ අරමුණින් දිවයිනට පැමිණ සිටින 15 දෙනෙකුගෙන් යුක්ත ප්‍රංශ දූත පිරිස හා පැවති මෙම සාකච්ඡාව පසුගිය 06 දා (ඊයේ) සවස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලොට්ෆි කිබොවා මහතා, ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින යටිතල පහසුකම් හා ඊට සාපේක්ෂව සිදුකෙරෙන කාර්මික දියුණුව දෙස අවධානය යොමුකිරීමේදී නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඉතා ඉහළ අගයකට පත්වීමේ ලක්ෂණ පෙනෙන්න තිබෙනවා. ප්‍රංශ ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත ආකර්ශනය වීමට මෙය ප්‍රධානතම හේතුවක්.

 ඒ වගේම ශ්‍රී ලාංකීය භාණ්ඩ හා සේවාවන්හි තත්වය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මෙරට සිටින ශ්‍රමිකයින් සතු හැකියාව හා ගුණාත්මක බව වටහා ගැනීමට එය කදිම සාක්ෂියක්. ඒ වගේම ප්‍රකට අන්තර්ජාතික බැංකුවක, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා ලොව පුරා සිදුකෙරෙන සියලු මූල්‍ය නිෂ්කාශනයන් හි මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබීමත්, එහි සේවකයන් 100% ක්ම ශ්‍රී ලාංකිකයන් වීමත් මෙයට නිදසුනක්.

 ඇක්සෙන්චර් සමාගම දැනටමත් ඇඟලුම් අපනයනයේ නිරත, ශ්‍රී ලංකාවේ බ්‍රැන්ඩික්ස් සමාගමට තම සේවය ලබාදෙන බැව් පැවසූ, ඒ මහතා, අමාත්‍ය බදියුදීන් මහතා ඇතුඵ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය තම ආයෝජනයන්ට අදාල තොරතුරු කඩිනමින් ලබාදීම හා සෙසු පහසුකම් සැලසීම සම්බන්ධයෙන් කෘතඥතාවය පළ කළේය.

 frans 02

ප්‍රංශ දූත පිරිස ඇමතූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා,  ප්‍රංශ ආයෝජකයන්ගේ ප්‍රවීණතාවය දෙස බැලීමේදී සංචාරක යටිතල පහසුකම්, නාගරික සංවර්ධන අංශය, නිවාස හා දේපල, ඇඟලුම් හා රබර් නිෂ්පාදන අංශ වල ආයෝජනයන්ට වඩාත් සුදුසු බැව් මා විශ්වාස කරනවා. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් වල ඉදිරි වසර දෙක ඇතුළත ක්‍රියාත්මක වීමට නියමිත ජල සම්පාදන ව්‍යාපෘති සඳහා ආයෝජන අවස්ථා පවතිනවා.

වෙනත් බොහෝ රටවල මෙන් නොව, ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදුකිරීමේදී විදේශ ආයෝජකයන්ට තම ව්‍යාපෘති වල 100% ක් හිමිකම් පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා. විදෙස් ආයෝජනයන්හි සුරක්ෂිත බව ශ්‍රී ලංකාව තුළ තහවුරු කොට තිබෙන බැවින් ආයෝජකයන්ට අවදානමක්ද මෙහි නැහැ. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කැපවීම හා ආර්ථික දැක්ම හේතුවෙන්, දළ ජාතික නිෂ්පාදිතයේ 7.5% ක වර්ධන වේගයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. එබැවින් ප්‍රංශ ආයෝජන ශ්‍රී ලංකා තුළ ස්ථාපිත කිරීමට දැන් කාලය පැමිණ ඇතැයි මා සිතනවා.

දූත පිරිසට අයත්, ප්‍රංශ කඩෙට් ඒ. හුවෙත්, ගෘහ නිර්මාන ශිල්පීය ආයතනයේ කොටස්කරුවෙකු වන, ජෙරාට් හුවෙත් මහතා මෙහිදී පැවසුවේ, ඉන්දීය සාගර කලාපයේ ගුවන් හා නාවුක මාර්ග ඇතුළත්, උපායමාර්ගික ලක්ෂයක ශ්‍රී ලංකාව පිහිටා තිබීම හේතුවෙන් ප්‍රංශ ආයෝජකයන්ගේ අවධානය මෙරට වෙත යොමුවී ඇති බවයි. තවද ලොව විශාලතම එයාර්බස් ගුවන් යානා නිෂ්පාදන කම්හල්හි, එකලස් කිරීමේ පෙළ (Assembly line) පවා නිෂ්පාදනය කරන තම සමාගම පවා මෙරටට ආකර්ශනය වූයේ එම හේතුව නිසා බවද ජෙරාට් හුවෙත් මහතා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යාංශ ලේකම්, අනුර සිරිවර්ධන, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආර්.ඩී.එස්.කුමාරරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *