සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් මේ වන විට ආනයනය කර ඇති බවත් ඒ අනුව මෙම මිල ගණන් පහත දමා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, සම්බා සහල් කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 78 ක, නාඩු සහල් රුපියල් 73 කට හා පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 148 කට දිවයින පුරා ඇති ඕනෑම සතොස අලෙවි සැලකින් පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව ද කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට 01 වෙනිදා එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ඉතා අභියෝගාත්මක අමාත්‍යාංශයක් තමා බාර ගත් බවත් එහි ඇති අඩුපාඩු සියල්ල සකස් කර ගනිමින් සිටින බවත් පසුගිය කාලයේ සතොස පාඩු ලැබීමට ඇතැම් නිෂ්පාදන ආනයනය කිරීම ප්‍රධාන හේතුවක් වු බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අනුව ඉදිරියේ දී උත්සව සමය ඉලක්ක කර ගනිමින් සෑම ග්‍රාමසේවා කොට්ඨාශයක්ම නියෝජනය වන ලෙස සතොස වරලත් අලෙවි නියෝජිත වෙළඳ සැල් 2 ක බැගින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
තමා අමාත්‍යාංශය බාර ගන්නා විට සතොස අලෙවිසැල් 300 ක් පැවති බවත් එය අද වන විට 370 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි සති දෙක තුළ තවත් සතොස අලෙවි සැල් 30ක් ඇති කරන අතර ලබන වසරේ එය 500 ක් දක්වා ඉහළ දැමීම තම බලාපොරොත්තුව බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *