පියෝ සිලෝන් සිනමන් බලපත්‍රලාභී අපනයනකරුවන් අමාත්‍ය, බදියුදීන් මහතා අතින් තමාට හිමි බලපත්‍රය ලබාගත් අවස්ථාව. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ මහතාද ඡායාරූපයේ සිටියි.
2020 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 20 අපනයන ඉලක්කයක් සැපිරීමත්, එයින් ඇ.ඩො.බිලියන එකක් කුරුදු ඇතුඵ කුඵබඩු අපනයනයන් හරහා ඉපැයීමත් රජයේ අපේක්ෂාව බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, කුරුදු අපනයනකරුවන් සදහා ‘පියෝ සිලෝන් සිනමන්’ සන්නාම බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ මෙම උළෙල පසුගිය සදුදා (08) පස්වරුවේ කොළඔ 02, නවම් මාවතේ පිහිටි එම මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ලෝක වෙළද පොළ තුළ කුරුදු වර්ග දෙකක් පවතින අතර, එය සත්‍ය කුරුදු (Ceylon Cinnamon) සහ කැසියා කුරුදු (Cassia) ලෙස වේ. ඉන්දුනීසියාව, චීනය හා වියට්නාමය යන නැගෙනහිර ආසියාතික රටවල් වලද, දකුණු ඇමරිකානු රටවල් වලද කැසියා වගාකරනු ලබන අතර, මේවා  ඹෟෂදීය හා ගුණාත්මක බවින් ඉතා පහළ මට්ටමක පවතී. ලෝකයේ උසස්ම කුරුදු ලෙස සලකන ‘සත්‍ය කුරුදු’ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබූවත්, පසුගිය වකවානුව පුරා කුරුදු ආදේශකයක් වන කැසියා සමග දැඩි වෙළදපොළ තරගකාරීත්වයකට මුහුණ දීමට අපනයනකරුවන්ට සිදුවී තිබිණි. එමෙන්ම කැසියා හා සත්‍ය කුරුදු නිසිපරිදි හදුණාගැනීමට වෙළද පොළ තුළ විධිමත් ක්‍රමවේදයක් නොමැති විය. එයට විසදුමක් වශයෙන් 2011 වසරේදී ‘පියෝ සිලෝන් සිනමන්’ වෙළද සන්නාමය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හදුන්වා දුන් අතර, ‘ශ්‍රී ලංකා තේ’ (Ceylon Tea) හැරුනු විට ශ්‍රී ලංකාව සතුවන දෙවන ජාත්‍යන්තර වෙළද සන්නාමය ‘පියෝ සිලෝන් සිනමන්’ (Pure Ceylon Cinnamon) වේ.
ඒ.බවර් සහ සමාගම, ජී.පී.ද සිල්වා සහ පුත්‍ර සමාගම, රත්නා ප්‍රොඩියුසර්ස් සිනමන් එක්ස්පෝටර්ස් සමාගම, ඉන්ටනැෂනල් කොමොඩිටි ‍ට්‍රේඩර්ස් සමාගම, ඉන්ටර්කොම් සමාගම, කාසා කැනලා සමාගම, ෆ්‍රඩ් ඇන්ඩ් නේචර් සමාගම සහ මෝක්ෂා ලිමිටඩ් යන සමාගම්හි ප්‍රධානීන් තමන්ට හිමි බලපත්‍රය ලබාගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
ඒ.බවර් සහ සමාගම, ජී.පී.ද සිල්වා සහ පුත්‍ර සමාගම, රත්නා ප්‍රොඩියුසර්ස් සිනමන් එක්ස්පෝටර්ස් සමාගම, ඉන්ටනැෂනල් කොමොඩිටි ‍ට්‍රේඩර්ස් සමාගම, ඉන්ටර්කොම් සමාගම, කාසා කැනලා සමාගම, ෆ්‍රඩ් ඇන්ඩ් නේචර් සමාගම සහ මෝක්ෂා ලිමිටඩ් යන සමාගම්හි ප්‍රධානීන් තමන්ට හිමි බලපත්‍රය ලබාගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, “පියෝ සිලෝන් සිනමන් සන්නාම බලපත්‍ර ලබාගන්නා ප්‍රථම අපනයනකරුවන් පිරිසට මාගේ සුභාශිංසන පිරිනමන්න කැමතියි. අප පසුගිය වසරේ 6.3% කින් අපනයන වර්ධනයක් හිමිකර ගත්තා. එමෙන්ම 2020 වන විට ඇ.ඩො.බිලියන 20 ක අපනයන ආදායමක් හිමිකර ගැනීම අප රජයේ ඉලක්කය වී තිබෙනවා. එයින් ඇ.ඩො.බිලියන එකක් කුරුදු ඇතුඵ කුඵබඩු නිෂ්පාදන හරහා උපයා ගැනීමට අපේක්ෂා කරනවා.
 
වර්ෂයකට අප කුරුදු මෙට්‍රික් ටොන් 15,000 ක් පමණ නිෂ්පාදනය කරනවා. මෙයින් වැඩි ප්‍රමාණයක් අපි අපනයනය කරනවා. 150 ක් පමණ වන දේශීය කුරුදු අපනයනකරුවන්ගේ අප්‍රතිහත උත්සාහය හේතුවෙන් පසුගිය කාලය පුරා කුරුදු අපනයනයේ විශාල ප්‍රගතියක් දක්නට ලැබෙනවා.
 
2012 වසරේදී වූ අපගේ කුරුදු අපනයන ආදායම ඇ.ඩො.මිලියන 130 ක් වුවත්, 2013 වසර වන විට එය ඇ.ඩො.මිලියන 132 දක්වා ඉහළ ගොස් තිබුණා. එමෙන්ම පසුගිය වසර පහ ඇතුළත කුරුදු අපනයනය 78% කින් වර්ධනය වී තිබෙනවා.
 
ශ්‍රී ලංකාවේ නිපදවන උසස් තත්වයේ කුරුදු වැඩි වශයෙන් මිළදී ගන්නේ මෙක්සිකෝවයි. එමෙන්ම අනෙක් මහා පරිමාණ ගැණුම්කරුවන් වන්නේ, ඇමරිකාව, පේරු සහ කොලොම්බියාවයි. මීට පෙර කළ මිළදී ගැනීම් වලට සාපේක්ෂව පසුගිය වසර තුළ පේරු රාජ්‍ය ශ්‍රී ලංකාවට ලබාදුන් ඇණවුම් 32% කින් ඉහළ ගොස් තිබෙනවා.
 
මෙම බලපත්‍ර හරහා භාවිතයට අවසර ලැබෙන ‘පියෝ සිලොන් සිනමන්’ වෙළද සලකුණ නිසා උසස් තත්වයේ අපේ කුරුදු වෙනත් නිෂ්පාදන වලින් වෙන්කර හදුණා ගැනීමට දේශීය හා විදේශීය පාරිබෝගිකයන්ට මනා රුකුලක් වනු ඇති. ජාත්‍යන්තර වෙළදපොළ ඉලක්ක ජයගැනීම සදහා අප සිදුකරන ප්‍රවර්ධන වැඩසටහන් සදහා පියෝ සිලෝන් සිනමන් සන්නාම වැඩපිළිවෙල ඊට රුකුල් දෙන ඉතා හොද ව්‍යාපෘතියක් බැව් කිව යුතුයි.”
උත්සවය සදහා පැමිණ සිටි අපනයනකරුවන්, රේඛීය ආයතන නිලධාරීන්ගෙන් කොටසක්.
උත්සවය සදහා පැමිණ සිටි අපනයනකරුවන්, රේඛීය ආයතන නිලධාරීන්ගෙන් කොටසක්.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ මහතා, “අපනයනය කරන කුරුදු වල ජාත්‍යන්තර තත්වයේ ඉහළ ගුණාත්මක බවක් රදවා ගැනීම අප සිදු කළ යුතුමයි. සමස්ථ අපනයනයෙන් 1.15% ක්ම කුරුදු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙනවා. 2013 වසරේදී ශ්‍රී ලංකාව ඇ.ඩො.මිලියන 132 ක කුරුදු නිෂ්පාදන අපනයනය කොට තිබෙනවා. ශ්‍රී ලන්කන් සිනමන්, ශ්‍රී ලංකා කුරුදු හා සිලෝන් සිනමන් යන සන්නාමයන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නීත්‍යානුකූලව හිමිකරගෙන තිබෙනවා.”
කුරුදු සහ අගය එකතු කළ නිෂ්පාදන සකසන, අපනයනය කරනු ලබන සමාගම් 150 ක් පමණ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර, එම ආයතනයන්හි නිෂ්පාදන ක්‍රියාවලිය, නිෂ්පාදනයන්හි ගුණාත්මක බව, තත්වය ඇතුඵ නිර්නායක 30 ක් පමණ සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයනකරුවන් සදහා පියෝ සිලෝන් සිනමන් සන්නාමය භාවිතයට අවශ්‍ය බලපත්‍ර නිකුත් කෙරේ.
කුරුදු තෙල්, කුරුදු කුඩු, කුරුදු පෙති, රූපලාවන්‍ය නිෂ්පාදන, ආහාර හා රසකැවිලි නිෂ්පාදන, සුවද විලවුන් කර්මාන්ත නිෂ්පාදන, ඹෟෂධ වර්ග හා රසකාරක නිෂ්පාදන වැනි අගය එකතු කළ කුරුදු නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරේ. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ කුරුදු නිෂ්පාදකයා වන අතර, ලෝකයේ සත්‍ය කුරුදු අවශ්‍යතාවයෙන් 85% ක්ම දේශීය අපනයනකරුවන් හරහා සැපිරේ.
ඒ.බවර් සහ සමාගම, ජී.පී.ද සිල්වා සහ පුත්‍ර සමාගම, රත්නා ප්‍රොඩියුසර්ස් සිනමන් එක්ස්පෝටර්ස් සමාගම, ඉන්ටනැෂනල් කොමොඩිටි ‍ට්‍රේඩර්ස් සමාගම, ඉන්ටර්කොම් සමාගම, කාසා කැනලා සමාගම, ෆ්‍රඩ් ඇන්ඩ් නේචර් සමාගම සහ මෝක්ෂා ලිමිටඩ් යන සමාගම් සදහා පියෝ සිලෝන් සිනමන් සන්නාම බලපත්‍ර ලබාදුන් අතර, එම බලපත් ලාභීන්ද, කුරුදු හා රේඛීය කර්මාන්තයන්හි නිෂ්පාදකයන්, අපනයනකරුවන් ඇතුඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
පියෝ සිලෝන් සිනමන් සන්නාම බලපත්‍ර ලබාගන්නා ප්‍රථම අපනයනකරුවන් පිරිස සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු. (ඡායාරූපය - සේනක කුරුප්පු)
පියෝ සිලෝන් සිනමන් සන්නාම බලපත්‍ර ලබාගන්නා ප්‍රථම අපනයනකරුවන් පිරිස සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.
(ඡායාරූප – සේනක කුරුප්පු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *