ශ්‍රී ලංකාව සමඟ පවත්නා ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමටත්, ඒ යටතේ මහා පරිමාණ රථවාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ස්ථාපිත කිරීමටත් ඉන්දියාවේ ටාටා සමාගම පසුගියදා ස්වකැමැත්ත ප්‍රකාශ කළේය.

මෙයට, කැමැත්ත පළ කරන ලද්දේ, ඉන්දියාවේ මුම්බායි’හි ටාටා සමූහ සමාගම් මූලස්ථානයේ ව්‍යාපාර ප්‍රවර්ධන සහ මහජන සම්බන්ධතා ප්‍රධානී, මධූ කන්නන්  මහතා ඇතුළු නව දෙනෙකුගෙන් යුත් ඉහළ පෙළේ සමාගම් දූත පරිසක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවී කළ සාකච්ඡාවකදීය. අදාල හමුව පසුගියදා (27) කොළඔ 02, නවම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ටාටා සමාගමේ ව්‍යාපාර ප්‍රවර්ධන ප්‍රධානී, මධූ කන්නන් මහතා, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තම සමාගමේ ව්‍යාපාර සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ටාටා ආයතනය කැමැත්තෙන් පසුවන බැව් පැවසීය. ඒ යටතේ, රථවාහන, විදුලිබල හා බලශක්ති, නාගරික සංවර්ධන හා යටිතල පහසුකම් ගොඩනැංවීම, සංචාරක මෙන්ම පාරිභෝගික භාණ්ඩ (FMCG) ක්ෂේත්‍රයේ ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

එම ආයෝජනයන්හිදී තම සමාගම වැඩි අවධානය යොමුකරනු ඇත්තේ රථවාහන එකලස් කොට අපනයනය කිරීමේ කර්මාන්ත වෙත බවද ඔහු සඳහන් කරන ලදී. ටාටා සමාගමේ රථවාහන මෙරටදී එකලස් කොට, ශ්‍රී ලංකා-පකිස්ථානු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පකිස්ථානයට ප්‍රතිඅපනයනය කිරීම තම සමාගමේ මූලික අභිප්‍රාය බවද හෙතෙම පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ අපනයන බදු ආකෘතිය හා නිදහස් වෙළඳ ගිවිසුම භාවිතා කිරීමේදී සැපිරිය යුතු අගය එකතු කිරීමේ ප්‍රතිපත්තීන් ටාටා සමාගම දැන් අධ්‍යයනය කරමින් පවතින බවද කන්නන් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා-පකිස්ථානු නිදහස් ගිවිසුමට අදාල ප්‍රතිඅපනයනයේදී සැපිරිය යුතු 35% ක අගය එකතු කිරීමේ කොන්දේසියට තම සමාගමේ මූලික එකඟතාවය පළකරන බවද ඒ මහතා පැවසීය.

1961 වසරේ මෙරට ආගමනයෙන් පසු ටාටා සමාගම ශ්‍රී ලංකාවේ සිදුකරන දෙවන විශාලතම ව්‍යාපාර මෙහෙයුම තම රජය උණුසුම් ලෙස පිළිගන්නා බැව් මෙහිදී අදහස් දැක්වූ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. මෙවන් මහා පරිමාණ ආයෝජන හරහා සිදුවන මෙරට ආර්ථිකයේ සීග්‍ර වර්ධනය මෙන්ම රැකියා වියුක්තිය අවම කරගැනීමට ලැබෙන දායකත්වය, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආර්ථික දර්ශනයට මනා පිටිවහලක් බැව්ද බදියුදීන් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. එබැවින් ඒ සඳහා තම අමාත්‍යාංශය හා රජය පාර්ශ්වයෙන් ලබාදිය හැකි සියළු සහයෝගයන් ලබාදීමට තමා කැපවන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

India TATA 03

භාණ්ඩ අයිතම 4000 කට වැඩි ප්‍රමාණයක් ලංකා-පකිස්ථාන් නිදහස් වෙළඳ ගිවිසුම යටතේ බදු නිදහස්ව හුවමාරුවට හැකියාව ඇතිබැව්ද ඇමතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් අදාල ගිවිසුම යටතේ ටාටා සමූහයේ නිෂ්පාදන ශ්‍රී ලංකාව හරහා පකිස්ථානයට බාධාවකින් තොරව අපනයනය කිරීමට හැකියාව ඇතැයිද හෙතෙම පැවසීය. තවද, ඩොලර් මිලියන 350 ක් පමණ වන ලංකා-පකිස්ථාන් ද්වීපාර්ශ්වීය වෙළඳාම තවදුරටත් වර්ධනය වීමට මෙම ආයෝජනය බෙහෙවින් ඉවහල් වනු ඇති බවටද බදියුදීන් මහතා විශ්වාසය පළ කළේය.

ටාටා සමූහය, ඉන්දියාවේ අංක එකේ බහුජාතික සමාගමක් වන අතර, 2014 වසරේදී එම සමූහයේ සමස්ථ ඉපැයීම ඇමරිකානු ඩොලර් බිලියන 103 ක් ලෙස සටහන් විය. ශ්‍රී ලංකාව මේ වන විට, ඉන්දියාව හා පකිස්ථානය සමඟ වෙන් වෙන්ව නිදහස් වෙළඳ ගිවිසුම් පවත්වාගෙන යනු ලබන අතර එම ගිවිසුම් උපයෝගී කර ගනිමින් තුන්ඈඳුතු ව්‍යාපාරික සබඳතා ගොඩනැංවීමට මෙමගින් රටවල් තුනටම අවස්ථාව හිමිවේ. පසුගිය වසරේ ශ්‍රී ලංකා – ඉන්දියා ද්වීපාර්ශ්වික වෙළඳ අගය ඩොලර් බිලියන 4.6 ක් වූ අතර, ශ්‍රී ලංකා – පකිස්ථානු ද්වීපාර්ශ්වික වෙළඳ අගය ඇමරිකානු ඩොලර් මිලියන 354 ක් විය. සාකච්ඡාවට අදාල ටාටා සමාගමේ ආයෝජන ක්‍රියාත්මක වීමත් සමඟ අදාල වෙළඳ ගණුදෙනු සැලකිය යුතු ලෙස වර්ධනය වන බැව් කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය විශ්වාසය පළකරයි.

ඡායාරූප : සේනක කුරුප්පු, අමාත්‍ය මාධ්‍ය ඒකකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *