වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (03) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. පෙබරවාරි 03 වැනිදා සිට 05 වැනිදා තෙක් පෙ.ව. 10 සිට රාත්‍රී 09.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.

ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ දී අදහස් දැක්වූ බදියුදීන් අමාත්‍යවරයා මෙසේ ද කීය. වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික සේවා අධිකාරයට අද (03) මම නියෝග කළා. ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් තීරණයක් ගත්තා සහල් කිලෝවක් රුපියල් 66.00ට දිය යුතුයි කියලා. ඒ නිසා වෙළෙන්දන් පැත්තෙන් අපි සළකා බලා සහල් ආනයනයේ පනවා තිබෙන බද්ද රුපියල් 15.00 දක්වා අඩු කළා. ඒ අවස්ථාවේ දී වෙළෙන්දන් කීවා එයාලට දෙන්න පුළුවන් රුපියල් 75.00 බැගින් පමණයි කියා. නැවත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් ඇමති රවී කරුණානායක මහතා, මලික් සමරවික්‍රම මහතා ඇතුළු අමාත්‍යවරු සාකච්ඡා කරලා බදු මුදල රුපියල් 5.00 දක්වා අඩු කළා. මේ අනුව සහල් කිලෝ එකක් රුපියල් 66.00 ක මුදලකට අළෙවි කළ හැකියි. අපි පාලන මිලක් දාලා තියෙනවා. නමුත් වෙළෙන්දන් කිසිවෙකුත් පාලන මිලට සහල් අලෙවි කරන්නේ නැහැ. ඒ අය හාල් විකුණන්නේ වැඩි මිලට.

සහල් ආනයනය කර වෙළෙඳපොළ මිල පාලනය කළ හැකි වුව ද රටේ ගොවියා හා වෙළෙන්දන් ගැන සිතා සහල් ආනයනය නොකළ බවයි. නමුත් ඉදිරියේ දී සහල් තොග සඟවා සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීමට ව්‍යාපාරිකයින් කටයුතු කරන්නේ නම් සහල් ආනයනය කර වෙළෙඳපොළේ සහල්  මිල පහළ දැමීමට කටයුතු කරනවා.

‘‘සතොස ශාඛා 320ක් දිවයින පුරා තියෙනවා. සතොස ශාකාවලින් සහල් කිලෝවක්  රුපියල් 66.00 මිලකට පාරිභෝගිකයින්ට ලබා ගත හැකියි. සහල් වැඩි මිලට විකුණන සියලු වෙළෙඳසැල් සහ ගබඩා පරීක්ෂා කරලා නීතිය ක්‍රියාත්මක කරනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මා මේ සම්බන්ධ නියෝගය ලබා දී තිබෙන්නේ. අද (03) සිට නීතිය තදින් ක්‍රියාත්මක යැයි ද කීය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

7M8A4511 7M8A4534 7M8A4538 7M8A4619

Leave a Reply

Your email address will not be published. Required fields are marked *