ශ්‍රී ලාංකික ආයෝජකයන් සඳහාම වෙන්වූ නිදහස් වෙළඳ කලාපයක් වියට්නාමය තුළ වෙන්කර කරදීමට තම රට කැමැත්තෙන් පසුවන බැව්, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති, ටොන් සින් තාන් (Ton Sinh Thanh) මහතා පැවසීය.
ඒ මහතා මේ බැව් පැවසුවේ ශ්‍රී ලංකා – වියට්නාම් වෙළඳ සබඳතා තර කර ගැනීම වෙනුවෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති ද්වීපාර්ශ්වීය සාකච්ඡා වලදීය. පසුගියදා (07 දා) කොළඔ, නවම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී මෙම සාකච්ඡා පැවැත්විණි.
Vietnam 01
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ටොන් සින් තාන් මහතා, 2014 මුල් අර්ධයේ පමණක් ඩොලර් මිලියන 109 ක ද්වීපාර්ශ්වීය වෙළඳාමක් සිදුව ඇති බවත්, එය මෙම වසර අවසන් වන විට ශක්තිමත් වෙළඳ සබඳතාවක් දක්වා වර්ධනය වීමට හැකියාව ඇති බවත් පැවසීය. ශ්‍රී ලංකාවේ කළු තේ (Black Tea),මැණික්, විනෝදාත්මක බෝට්ටු නිෂ්පාදන (leisure Boat) වැනි භාණ්ඩ වියට්නාමයට අපනයනය කිරීම ඉහළ නැංවීමත්, වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට සිදුකරන ආනයන ඉහළ නැංවීමටත් පහසුකම් සැලසිය යුතු බවත් හෙතෙම පෙන්වා දෙන ලදී.
මේ වනවිට වියට්නාම් ව්‍යාපාර මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති අතර, ශ්‍රී ලංකාවද වියට්නාමයේ එවන් ව්‍යාපාර මධ්‍යස්ථානයක් අරඹා, වෙළඳ කටයුතු ඉහළ නැංවීමට කාලය එළඹ ඇති බවත් තානාපතිවරයා පැවසීය. වියට්නාමය තුළ ක්‍රියාත්මක සිංගප්පූරු-වියට්නාම් නිදහස් වෙළඳ කලාප ආකෘතියට අනුව, ශ්‍රී ලාංකික ආයෝජකයන් සඳහාම වෙන්වූ නිදහස් වෙළඳ කලාපයක් වියට්නාමය තුළ සකස් කරදීමට තම රට කැමැත්තෙන් පසුවන බැව් ඔහු පැවසීය.
රබර් සඳහා වියට්නාමයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත්, වෙළඳ පොළ ඉල්ලුම හඳුනා ගැනීමෙන් අපනයනය ඉහළ නංවා ගැනීමට ලංකාවට හැකියාව ඇති බවත් ඔහු පැවසීය. ලංකාවේ ධීවර වෙළඳ පොළ තමන් නිරීක්ෂණය කළ බවත්, මුහුදු ආහාර මෙන්ම මත්ස්‍ය නිෂ්පාදන ඇතුළත් ජාත්‍යන්තර ධීවර අපනයන වෙළඳ පොළක් නිර්මාණය කරගැනීමට ශ්‍රී ලංකාවට පහසුවෙන්ම හැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දෙන ලදී.
ග්‍රීන් ටී (Green Tea) සඳහා හුරුවී සිටි වියට්නාම් තරුණ කොටස්, ශ්‍රී ලාංකීය කඵ තේ (Black Tea) සඳහා දැන් දැන් වැඩි නැඹුරුතාවයක් දක්වන බැවින්, මෙම කරුණ පිළිබඳ ලාංකීය තේ අපනයනකරුවන්ගේ අවධානය යොමුවීම වාසිදායක වනු ඇති බවත් ටොන් සින් තාන් මහතා වැඩිදුරටත් පැවසීය.
 Vietnam 02
වියට්නාම් දූත පිරිස ඇමතූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, ඉදිරි අගෝස්තු 21 වියට්නාමයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-වියට්නාම් වෙළඳ සාකච්ඡාවන්හිදී, ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කලාපයක් වියට්නාමය තුළ ගොඩනැගිමට අදාල මූලික සාකච්ඡා සිදු කිරීමට අපේක්ෂා කරන බැව් පැවසීය. ධීවර අපනයනය වර්ධනයට ඉදිරියේදී පියවර ගන්නා බවත්, වියට්නාම් ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය, රබර් නිෂ්පාදනය, බෝට්ටු නිෂ්පාදනය හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රයන්හි ආයෝජනයට ආරාධනා කරන බවත් අමාත්‍යවරයා පැවසීය. මෙරට තුළ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන විදේශීය සමාගම් සඳහා රජය දොරගුළු විවෘත කර දී ඇති බවත්, උපයන ලාභය 100% ක් තම රටවල් වලට රැඟෙන යාමට ඉඩප්‍රස්ථාව ලබාදී ඇති බවත් බදියුදීන් මහතා පැවසීය.
2013 වසරේ දෙරට අතර ඇමරිකානු ඩොලර් මිලියන 224 ක වෙළඳ ගණුදෙනු සිදුවී ඇති බවත්, මෙය 2012 වසරේ වාර්තා වූ ඩොලර් මිලියන 119 හා සැසඳීමේදී 88% ක වර්ධනයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. තවද 2013 වසරේදී වියට්නාමයට කළ අපනයන පමණක් සැලකූ විට එය පෙර වසරට වඩා 107% ක වර්ධනයක් වාර්තා වූ බවත්, මෙම තත්වය දෙරටටම ඉතා සුභදායී තත්වයක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධක්ෂක ජෙනරාල්, ආර්.ඩී.එස්. කුමාරරත්න යන මහතුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *