වියට්නාමයේ දෙදින නිල සංචාරයක නිරතවූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, වියට්නාම් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, (VCCI – Hanoi)ලේකම් ජනරාල්, පාම් ති තූ හැන්ග් මහත්මිය (Ms. Pham Thi Thu Hang) සමඟ ද්වීපාර්ශ්වික වෙළඳාම දියුණු කිරිමට අදාල පුඵල් සාකච්ඡා පැවැත්වූ අතර, එමගින් දෙරටටම ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට අවස්ථාව උදාවූ බැව්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සාකච්ඡා වියට්නාමයේ හැනෝයි නුවර, ඩාවෝ ඩුයි ඇන්හ් වීදියේ පිහිටි එම වාණිජ මණ්ඩල ජාතික මූලස්ථානයේදී පසුගියදා (අගෝස්තු 22) පැවැත්විණි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආර්.ඩී.එස්.කරුණාරත්න, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති, ගරු අයිවන් අමරසිංහ යන මහත්වරුන්ද සාකච්ඡාවන් සඳහා සහභාගී වූහ.
vietnamese chamber 02
නව ආසියාන් කණ්ඩායමේ විශාලතම ආර්ථිකයට හා වෙළඳ පොළට හිමිකම් කියන වියට්නාමයේ වෙළඳ ප්‍රජාව හා ශ්‍රී ලංකා වෙළඳ ප්‍රජාව අතර සෘජු සබඳතා ගොඩනැංවීම මින් ප්‍රමුඛ වන අතර, එරට තුළ වියට්නාම් – ශ්‍රී ලංකා වෙළඳ සංසදයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික එකඟතා ඇතිකර ගැනීම සෙසු යෝජනා අතර වේ. අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනා කිහිපයක් පිළිගනිමින් වියට්නාම් කර්මාන්ත හා වාණිජ මණ්ඩල ලේකම් ජනරාල් පාම් ති තූ මහත්මිය පැවසුවේ, ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වියට්නාමය තුළ හොඳ වෙළඳපොළ අවස්ථාවන් පවතින අතර, ලාංකික කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ කර්මාන්ත ශාලා තම රට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බවයි.
වියට්නාමය සමඟ වෙළඳ සබඳතා ගොඩනගා ගැනීම වෙනුවෙන් සිදුකළ සාර්ථක දූත මෙහෙවර වෙනුවෙන් හා, ද්වීපාර්ශ්වීය ව්‍යාපාරික සංසදයක් පිහිටුවීමට යෝජනා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා අමාත්‍යවරයාට කෘතඥ වන බවද ඇය මෙහිදී ප්‍රකාශ කළාය. මෙම සංචාරය හරහා ඇතිකර ගත් දෙරට අතර ව්‍යාපාරික සබඳතා වර්ධනය කරනු වස්, වියට්නාම් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයක් වියට්නාමය තුළ ස්ථාපිත කිරීමට හා දෙරටේ ව්‍යාපාරිකයන් අතර මුහුණට මුහුණලා කෙරෙන ව්‍යාපාරික සාකච්ඡා (B to B Meeting) පැවැත්වීමට තමා බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය. ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්ගේ හා අපනයන්ගේ තොරතුරු, වියට්නාම් ව්‍යාපාරික දත්ත ගොණුවට ඇතුඵ කිරිමෙන් මොවුන් පිළිබඳ උනන්දුවක් ඇති දෙරටේම පිරිස් වෙත පහසුවෙන් මූලාශ්‍ර සම්පාදනයට හැකි වනු ඇති බවද වාණිජ මණ්ඩල ලේකම් ජනරාල්වරිය විශ්වාසය පළකළාය. එමෙන්ම, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පූර්ණ කාලිනව වියට්නාමය වෙනුවෙන් පත්කිරිමට ගෙන ඇති තීරණයද ඇය අගය කළාය.
වියට්නාමයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එරට වෙළඳ, කර්මාන්ත හා ව්‍යවසාය කටයුතු පිළිබඳ එරට ඇති එකම ජාතික ආයතනය වන අතර, සම්මේලන 300 කට අධික සංඛ්‍යාවක් මේ සමඟ බද්ධව පවතී. තවද, වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය තුළ 110,000 ඉක්මයවන සෘජු හා වක්‍ර කර්මාන්තකරුවන් පිරිසක් සාමාජිකත්වය හිමිකර ගෙන සිටිති. වියට්නාමය ඇ.ඩො.බිලියන 142 ක පමණ දේශීය දළ දේශීය නිෂ්පාදිතයකට උරුමකම් කියන රටක් වන අතර, එය සුවිසල් වූ මීකොං උප කලාපයේ (Greater Mekong Sub Region) විශාලතම ආර්ථිකය හා වෙළඳ පොළ වන්නේය. මේ හේතුවෙන් වියට්නාමය සමඟ පවත්වන වෙළඳ සබඳතා ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *