නුදුරු අනාගතයේදී ඇතිකර ගැනීමට යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම හා දැනට ක්‍රියාත්මක ඉන්දීය හා පකිස්ථානු වෙළද ගිවිසුම් හේතුවෙන්, ශ්‍රී ලංකා අපනයනකරුවන්ට ඉදිරියේදී ලෝක ජනග්‍රහනයෙන් 40% කට පමණ දේශීය නිෂ්පාදන සෘජුව අපනයනය කිරීමේ හැකියාව හිමිවන බැව් වාණිජ හා කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විවිධ වෙළද ගිවිසුම් සම්බන්ධයෙන් අපනයනකරුවන් දැනුවත් කිරීමේ සැසියක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා වාණිජ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම සැසිය, කොළඔ 02, නවම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, කලාපයේ වෙනත් රටවල් සමග ක්‍රියාත්මක විවිධ වෙළද ගිවිසුම් හේතුවෙන් දේශීය අපනයනයන් ලෝක ජනගහනයෙන් 40% කට ලබා දීමට හැකිවී තිබෙනවා. ඉන්දියාව සමග ක්‍රියාත්මක නිදහස් වෙළද ගිවිසුම හේතුවෙන් පසුගිය සමයේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට කළ අපනයනයන්හි ධාරිතාවය 508% කින් වර්ධනය වුණා. එමෙන්ම පසුගියදා එළිදැක්වුණු 2013 වසරට අදාල සංඛ්‍යාලේඛණ අනුව අපගේ වාර්ෂික අපනයන වර්ධනය 6.2% ක්. නුදුරු අනාගතයේදී චීනය සමග වන නිදහස් වෙළද ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු ඉන්දියාව හා පකිස්ථානයට අමතරව ශ්‍රී ලංකාවට තවත් සුවිශාල වෙළද පොළකට පිවිසීමේ භාග්‍යය හිමිවෙනවා. ඉන්දියාව මෙන්ම චීනයද ජී-20 නම් බලවත් වෙළද රාජ්‍ය එකතුවට අයත් රටක්. මෙය අපගේ අපනයනකරුවන්ට හිමිවන මහගු අවස්ථාවක්.
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභිප්‍රාය වී ඇත්තේ 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශයෙන් ඇ.ඩො. බිලියන 20 ක ඉලක්කයක් සැපිරීම යැයි පැවසීය. එමෙන්ම අදාල ඉලක්ක සපුරා ගැනීමේදී චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම මහගු පිටිවහලක් වේයැයිද අමාත්‍යවරයා විශ්වාසය පළකළේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය තානාපති, පී.කුමාරන් මහතා, මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළදාම වර්ධනයට බලපෑ ප්‍රධාන සාධකය මේ නිදහස් වෙළද ගිවිසුමයි. ඒ අනුව ඉන්දීය වෙළදපොළට පැමිණෙන ශ්‍රී ලාංකීය නිෂ්පාදනයන් හා ශ්‍රී ලංකා වෙළද පොළට යොමුවූ ඉන්දීය නිෂ්පාදනයන්ද සැලකිය යුතු ලෙස වර්ධනය වුණා.
fta news 03
ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම හේතුවෙන් මෙරටට පැමිණෙන ඉන්දීය භාණ්ඩ මෙන්ම, ඉන්දීය ආයෝජනයන්ද වැඩිවීමේ නැඹුරුවක් පවතිනවා. මෙය ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමේ ආර්ථික ප්‍රතිලාභයන්ට අතිරේකව හිමිවන ප්‍රසාද දීමණාවක්.
මේ නිසා ඉදිරි දෙවසර තුළ ඇ.ඩො.බිලියන 2 ක ඉන්දීය ආයෝජන ව්‍යාපෘති මෙරටට ලබාදීමට ඉන්දීය රජය දැන් තීරණය කොට තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ආයෝජනයට ඇති යහපත් වටාපිටාව හා පරිසරය හේතුකර ගෙනයි.
ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්, හසන් අලී සෙයිහාන්, වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, අනුර සිරිවර්ධන, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ යන මහත්වරුන්ද, අධ්‍යක්ෂ ජනරාල්, සුජාතා වීරකෝන් මහත්මියද, ආයෝජකයන්, අපනයනකරුවන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *