ශ්‍රී ලංකාව සමඟ පවත්වන්නාවූ වෙළඳ සබඳතා ඇමරිකා එක්සත් ජනපදය ඉතා අගය කරන බැව්, මධ්‍යම සහ දකුණු ආසියාව සඳහා වන ඇමරිකානු වෙළඳ නියෝජිත, මයිකල් ඩෙලනි (Michael Delaney) මහතා පැවසීය.
 ඒ මහතා මේ බැව් පැවසුවේ, ඊයේ (15 දා) පෙරවරුවේ, කොළඔ තාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ වූ, 11 වැනි ඇමරිකා – ශ්‍රී ලංකා වෙළඳ සාකච්ඡා වටයේ (11th Joint Council Meeting under the US-Sri Lanka Trade and Investment Framework Agreement) ආරම්භක සැසිය අමතමිනි.
මෙම ද්වීපාර්ශ්වීය සාකච්ඡා සඳහා මයිකල් ඩෙලනි මහතාගේ නායකත්වයෙන් යුත් නවදෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ ඇමරිකානු දූත පරිසක්ද, ශ්‍රී ලංකාව වෙනුවෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන්, එම අමාත්‍යාංශ ලේකම්, අනුර සිරිවර්ධන ඇතුළු රේඛීය අමාත්‍යාංශ හා ආයතන නියෝජනය කරමින් 27 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක්ද සහභාගී වූහ. 2002 වසරේ සිට ක්‍රියාත්මක ඇමරිකා – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම් ප්‍රකාරව ක්‍රියාත්මක ද්වීපාර්ශ්වීය වෙළඳාම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම මෙම සාකච්ඡා වටයන්හි අරමුණයි.
usa 05
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මයිකල් ඩෙලනි මහතා, ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර වෙළඳ හා ආයෝජන අවස්ථා කළමණාකරණයට, අප දෙරට අතර පවතින වෙළඳ ගිවිසුම් හරහා වැදගත් කාර්යභාරයක් ඉටුවෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ද්වීපාර්ශ්වීය වෙළඳ හා ආයෝජන සබඳතාවන්හි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 03 ඉක්මවනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමඟ ඇමරිකාව පවත්වන්නාවූ වෙළඳ සබඳතා අප ඉතාමත් වැදගත් කොට සලකනවා. මෙම වෙළඳ සාකච්ඡා එම සබඳතාවයන්හි විශේෂ සංදිස්ථානයක්. මෙම සබඳතා ඔස්සේ අප දෙරටටම වාසිදායකයි.
 මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, “ඩෙලනි මහතා සිව්වැනි වරටත්  ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මාගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පිරිණමනවා. 2002 වසරේ ආරම්භ වූ මෙම ගිවිසුම දෙරටටම පුළුල් වෙළඳ අවස්ථාවන් හිමිකර ගැනීමට හැකිවූ සාර්ථක ක්‍රමවේදයක් බැව් කියන්න කැමතියි. විශේෂයෙන් ශ්‍රී ලංකාව සීග්‍රයෙන් දියුණු වෙමින් පවත්නා මෙවන් යුගයක, මෙවැනි ගිවිසුමක් ඉතා වැදගත් වෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ මේ වන විට ශ්‍රි ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ ඉහළයාමක් පෙන්නුම් කරනවා. ඒ වගේම යටිතල පහසුකම් දියුණු කිරීමත් කඩිනමින් සිදුකෙරෙනවා සේම, ජාත්‍යන්තර වෙළඳපොළද වේගයෙන් දියුණු වෙමින් පවතිනවා.
 1979 සිටම අපගේ අපනයන නිෂ්පාදන වැඩි වශයෙන්ම මිළදී ගනු ලබන්නේ, ඇමරිකානු එක්සත් ජනපදයයි. 2013 වසරේදී ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර වූ සමස්ථ ද්වීපාර්ශ්වීය වෙළඳාම, 2012 සිදුකළ වෙළඳ අගය හා සැසඳීමේදී 21% ක තරම් ඉහළ මට්ටමක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එහි අගය ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක් වුණා.
 මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ආයෝජන ව්‍යාපෘති 220 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. එබැවින් තවතවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකරන ලෙස ඇමරිකානු ආයෝජකයන්ට මා ඇරයුම් කරනවා.”
usa 02 
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්, අනුර සිරිවර්ධන මහතා,අප දෙරට ඇතිකර ගත් ගිවිසුම යටතේ වන මෙවර වෙළඳ සාකච්ඡා වටයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ, වෙළඳ පොළ ප්‍රවේශය, බුද්ධිමය දේපල කටයුතු සහ තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳවයි. එමෙන්ම, මෙම ගිවිසුමට අදාල ප්‍රායෝගික මට්ටමේ පවත්නා සහයෝගීතාවය පිළිබඳ සැලකීමේදී ජීවනෝපාය සංවර්ධනය, සංචාරක කර්මාන්තය හා කාන්තා ව්‍යවසායකත්වය බලගැන්වීම යන අංශ සඳහාද ව්‍යාප්තව පවතිනවා. තවද, සුළු හා මධ්‍ය පරිමාණ අංශය පුළුල් කිරීමේ හැකියාවක්ද  මෙම ගිවිසුම හරහා පවතිනවා.
මෙම සාකච්ඡා සඳහා,  එක්සත් ජනපද කම්කරු දෙපාර්තමේන්තුවේ, ජාත්‍යන්තර කම්කරු කටයුතු පිළිබඳ කාර්යාංශයේ වෙළඳ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී, ඈන් සෝල්නර් (Ann Zollner), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, දකුණු ආසියාව පිළිබඳ වෙළඳ නිලධාරී, මැතිව් බෙහ් (Matthew Beh), එම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාව හා මලයාසියාව පිළිබඳ නිලධාරී, රයන් ඉස්මාන් (Ryan Essman),චෙන්නායි හි පිහිටි ඇමරිකානු කොන්සල් ජෙනරාල් කාර්යාලයේ වෙළඳ තානාපති, ජෝන් මයිකල් ෆ්ලෙමින් (John Michael Fleming), එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ වාණිජ විශේෂඥ, මනිමාලා වෙන්කතරාමන් (Manimala Venkatram), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජාත්‍යන්තර කම්කරු කටයුතු කාර්යාලයේ විදේශ කටයුතු නිලධාරී, ජෙසිකා ස්ලැටරි (Jessica Slattery), එක්සත් ජනපද නවදිල්ලි තානාපති කාර්යාලයේ දකුණු ආසියානු බුද්ධිමය දේපල කාර්යාංශ නිලධාරී, කල්පනා රෙඩ්ඩි (Kalpana Reddy), ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක, ඇලිසන් වී.ඇරෙයාස් (Allison V. Areias), එම කාර්යාලයේ ඇන්ඩෘ මාන් (Andrew Mann) යන මහත්වරුන්ද, මහත්මීන්ද සහභාගී වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම නියොජනය කරමින්, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති, ප්‍රසාද් කාරියවසම්, වාණිජ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ආර්.ඩී.එස්.කුමාරරත්න, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ යන මහත්වරුන් ඇතුළු, කර්මාන්ත හා වාණිජ කටයුතු, කෘෂිකර්ම, ආර්ථික සංවර්ධන, කම්කරු, සිවිල් ගුවන්සේවා, ඛනිජ තෙල් කර්මාන්ත, ආයෝජන ප්‍රවර්ධන, මහාමාර්ග, වරාය හා නාවික, විදේශ කටයුතු, මුදල් හා ක්‍රමසම්පාදන යන අමාත්‍යාංශද, ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.
usa 01
(ඡායාරූප – සේනක කුරුප්පු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *