සංචාරක ක්ෂේත්‍රය සීග්‍රයන් දියුණු වන පසුබිමක, බටහිර වෛද්‍ය සේවා හා දේශීය ආයුර්වේද ක්‍රම පිළිබද සන්නාමයක් ගොඩනගා ගත හැකි වුවහොත්, ශ්‍රී ලංකාවට සංචාරක සෞඛ්‍ය කර්මාන්තය හරහා වැඩි විදේශ විනිමයක් ඉපැයීමේ අවස්ථාව උදා වන බැව්, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසිය.
 අමාත්‍යවරයා මේ බැවි පැවසුවේ, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් පසුගිය 16 සිට 18 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ, ‘ආරෝග්‍යා 2014’ සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය සහ ‘ඉන්ට්‍රෑඩ් 2014’ ජාත්‍යන්තර වෙළද හා කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට සහභාගී වෙමිනි. මෙම ප්‍රදර්ශනය, ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
Intrad Pix 05
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, “මෙරට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයන් ජාත්‍යන්තර වශයෙන් අවදානයට ලක්වී තිබෙනවා. මේ වන විටත් දේශීය සමාගමක් ඔවුන්ගේ ආයුර්වේද නිෂ්පාදන ජාත්‍යන්තර වෙළද පොළට යොමු කර තිබෙන අතර, ආයුර්වේද ප්‍රතිකාර ඒකකයන් කිහිපයක් යුරෝපය තුල පිහිටුවා තිබෙනවා. එමෙන්ම දේශීය ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම පිළිබදව ජපන් සංචාරකයන් තුළ උනන්දුවක් හා පිළිගැනීමක් ඇති බැව්, මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා. මේ සියල්ලෙන් අපට ගම්‍ය වන්නේ, අපේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයන් හරහා, සංචාරක ක්ෂේත්‍රයත්, අපනයන ක්ෂේත්‍රයත් නංවාලීමට හැකිවේය යන සුබ ප්‍රවෘත්තියයි.
 
සෞඛ්‍ය සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත්ව සංවර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකාවට මෙම ක්ෂේත්‍රයේ විශේෂ අනන්‍යතාවයක් දීර්ඝ කාලීන වශයෙන් ඇතිකර ගත හැකියි. 2013 දී මිලියන 1.2 ක සංචාරක ප්‍රජාවක් මෙරටට පැමිණෙන ලද අතර, මෙම වර්ධනය සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මැතිතුමාට මාගේ කෘතඥතාවය පළකිරීමට කැමතියි.
 Intrad Pix 04
ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් හරහා ප්‍රතිකාර ගන්නා රෝගින්ගෙන් 15% ක් පමණ විදේශිකයින්. උදාහරණයක් ලෙස මාලදිවයින් ජාතිකයින් වැඩි පිරිසක් ප්‍රතිකාර සදහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලංකා හොස්පිටල් හා ඩර්ඩන්ස් යන පෞද්ගලික රෝහල් දැනටමත් සංචාරක සෞඛ්‍ය අංශයේ වැඩසටහන් සක්‍රීයව ක්‍රියාත්මක කරනවා. ‘ආරෝග්‍යා 2014’ සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය තුළින් මෙම ක්ෂේත්‍රයේ අවස්ථා පුඵල් කිරීමට අවස්ථාව සැලසේ යැයි මා විශ්වාස කරනවා.
 
දියුණු රටවල පවතින සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත නැතත්, ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල සෞඛ්‍ය පහසුකම් වියදම ඩොලර් 175 ක් පමණ වෙනවා. කෙසේ වෙතත්, වෘත්තීය වශයෙන් පුහුණු වෛද්‍ය, හෙදි, සායන හා රසායනාගාර වෘත්තිකයන්, තාක්ෂණික ශිල්පීන් සහිත ශ්‍රම බලකායක්ද, අති නවීණ සේවා හා උපකරණ, උසස් තාක්ෂණය ආදේශ වූ රෝහල් පද්ධතියක්ද සහිත දියුණු සෞඛ්‍ය සේවයක් ස්ථාපිතව පවතින බැවින්, සංචාරක සෞඛ්‍ය කර්මාන්තය නැංවීමට යහපත් පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගී තිබෙනවා.”
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ලලිත් දිසානායක, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති, සුනිල් විජේසිංහ, එම වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, තිලක් ගොඩමාන්න, නියෝජ්‍ය සභාපති, සුජීව සමරවීර, ලේකම් ජෙනරාල්, බන්දුල දිසානායක යන මහත්වරුන්ද, ක්ෂේත්‍රයට සම්බන්ධ ආයෝජකයන්, අපනයනකරුවන්, තානාපති අංශ වල නියෝජිතයන් සහ චීනය, ඉන්දියාව, තායිලන්තය හා වියට්නාම් යන රටවල ප්‍රදර්ශකයින් ඇතුඵ දේශීය ප්‍රදර්ශකයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
Intrad Pix 06

Leave a Reply

Your email address will not be published. Required fields are marked *