සීමිත සැපයුම්කරුවන් පිරිසක් සතු ලංකා සතොස සැපයුම් ඒකාධිකාරය අහෝසි කොට, ඉදිරි සතියේ සිට විවෘත ටෙන්ඩර් හරහා සැපයුම්කරුවන්ගෙන් මිළදී ගැනීමට ක්‍රියාකරන ලෙස, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහත්වරුන් ඊයේ (12) එහි පාලනාධිකාරියට ඒකාබද්ධ නියෝගයක් නිකුත් කළේය.
ලංකා සතොස ආයතනයට අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේ නිරත සැපයුම්කරුවන්, ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්, කොළඔ 02, වොක්ෂොල් වීදියේ පිහිටි සතොස ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරුන් මෙම ඒකාබද්ධ නියෝගය නිකුත් කළහ.
වෙළඳපොළ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිළ පහළ මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා සතොස අලෙවි මධ්‍යස්ථාන ජාලය පසුගිය සමය පුරා බෙහෙවින් ඉවහල් විය. පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳ සැල් පවා තම මිළ ගණනය කිරීමේදී ලක් සතොස මිළ තීරණාත්මක සාධකය ලෙස භාවිතා කළේය. ලක් සතොස ආයතනය වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයන සැපයුම්කරුවන් 71 දෙනෙකු ලියාපදිංචිවී සිටියද, පසුගිය කාලය පුරා එම ආයතනය භාණ්ඩ ලබාගෙන ඇත්තේ තෝරාගත් සැපයුම්කරුවන් පස්දෙනෙකු (05) ගෙන් පමණි. මේ හේතුව නිසා ජනතාවට ලැබිය යුතු සහණ බොහොමයක් මඟහැරී ගොස් තිබූ අතර, ක්ෂේත්‍රය පුරා දැඩි ඒකාධිකාරයක් පැවැත්විණි. මෙවැනි ඒකාධිකාරයක් පැවතීම තුළ සතොස බෙදාහැරීම් ජාලය හරහා පසුගිය සමය පුරා ප්‍රමිතියෙන් අඩු මෙන්ම, සාධාරණ නොවූ මිළක් යටතේ ඇතැම් භාණ්ඩ අලෙවි කොට තිබිණි.
 11FEB2 pix 01
විශේෂයෙන්ම රජය ඉදිරිපත් කළ අතුරු අයවැය හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ 13 ක් සහ බදු ලිහිල් කිරීම හේතුවෙන් තවත් භාණ්ඩ රැසක මිළ විශාල ලෙස අඩුවී තිබුණත් සතොස හරහාද එම සහණය ජනතාවට ලැබීම මන්දගාමී මට්ටමක පැවතිණි.
මෙම තත්වයන් සැලකිල්ලට ගත්,  අමාත්‍ය දෙපළ සතොස පාලනාධිකාරියට වහාම නියෝග කළේ, තෝරාගත් සැපයුම්කරුවන් කිහිපදෙනෙකු වෙනුවට, ඉදිරි සතියේ සිට දැනට ලියාපදිංචි වී ඇති සැපයුම්කරුවන් 71 දෙනාගෙන්, විවෘත ටෙන්ඩර් පරිපාටිය මත ගුණාත්මක හා අඩුමිළට භාණ්ඩ මිළදී ගන්නා ලෙසයි.
එමෙන්ම සැපයුම්කරුවන් මෙහිදී පවසා සිටියේ පසුගිය සමය පුරා තම ගැටළු පිළිබඳ අවධානය යොමුකිරීමට අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද ලබා නොදුන් බවයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් අවසන් වර‍ට අමාත්‍යවරයෙකු හමුවී තම ගැටළු සාකච්ඡා කළේ, හිටපු අමාත්‍ය, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2004 වසරේදී බවද ඔවුහු කියා සිටියහ.
ඊට පිළිතුරු දුන් අමාත්‍ය, බදියුදීන් මහතා කියා සිටියේ, තමා හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  මසකට වරක් හෝ, අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන් සහ සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට ක්‍රියාකරන බවයි. එමෙන්ම විනිවිද භාවයෙන් යුතුව ටෙන්ඩර් හා මිළදී ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තම අමාත්‍යාංශය හරහා ජනතාවට සහන ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලංකා සතොස බෙදාහැරීමේ ජාලය පමණක් නොව, ගම් මට්ටමින් ව්‍යාප්තව ඇති සමූපකාර අලෙවිසැල් පද්ධතියද යොදාගන්නා බැව් ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී පැවසීය. ජනතාවට සහණ ලබාදීම තම රජයේ සුවිශේෂී පොරොන්දුවක් බැව් සඳහන් කළ හෙතෙම, එය ඉටුකිරීම සඳහා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද පැවසීය. ආනයනකරුවන් හරහා මෙරටට ගෙන්වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ ගණන් දෛනිකව අමාත්‍යාංශ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස ඉල්ලා සිටි පෙරේරා මහතා, එමගින් සාධාරණ මිළ නියාමනය සඳහා අමාත්‍යාංශයට අවකාශ හිමිවන බැව් කීය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, සතොස ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් රැසක්ද, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්ද, සැපයුම්කරුවන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *