ඉදිරි කාලය තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකම පරිසර හිතකාමී කුඩා හා මධ්‍යම පරිමාණ නව කර්මාන්ත ආරම්භ කිරීමට හෝ අලුත් කර්මාන්තයක් පවත්වාගෙන යන හෝ ව්‍යවසායකයින්ට අවශ්‍ය වන දැනුම, තාක්‍ෂණය මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළඳ අවස්ථා උදාකර දෙන බවත්, මීට අමතරව ණය පහසුකම් ලබා දීම, උපකරණ හා අමුද්‍රව්‍ය සඳහා මූල්‍යාධාර ලබා දීම ආදී දිරිගැන්වීම් ද කිරීමට සැලසුම් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

2017 වසරේ දී සුළු හා මධ්‍යම පරිමාණ ආහාර නිෂ්පාදකයින් 50 දෙනෙකුට රුපියල් ලක්‍ෂ 2 බැගින්, රුපියල් කෝටියක (මිලියන 10) මූල්‍යධාර ලබා දුණි. මීට අමතරව සුළු පරිමාණ කර්මාන්තවල ඇසුරුම්කරණය සංවර්ධනය සඳහා එක් ව්‍යවසායකයෙකුට රු. 50,000.00 බැගින් වන පරිදි ව්‍යවසායකයින් 105 දෙනෙකුට රුපියල් මිලියන 5.25 ක් හෙවත් ලක්‍ෂ 52 ක මුල්‍යාධාර පිරිනැමුණි. මෙය 2016 වසරේ දී බස්නාහිර පළාත් ආහාර නිෂ්පාදන කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලියට දිරියක් ලබා දීම සඳහා ආරම්භ කරන ලද නියමු ව්‍යාපෘතියකි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය. “ආහාර නිෂ්පාදනය සඳහා අද මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. එම නිසා ආහාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ඉහළ ප්‍රමිතිය ඉතා වැදගත් වෙනවා. එසේම අද ලෝකයේ කර්මාන්තවල නව ප්‍රවණතාව වී තියෙන්නේ පරිසර හිතකාමී හරිත මිතුරු නිෂ්පාදන කර්මාන්තයි. ඒ සඳහා දිරිය ශක්තිය ලබා දීම ඉතාම වැදගත් වෙනවා. කර්මාන්ත නිසා පරිසරය දූෂණය වෙනවා යැයි පැවසීම අනාගතයේ දී මිත්‍යාවක් බවට පත් වෙනවා නොඅනුමානයි. එම නිසා අපත් අප අමාත්‍යාංශයේ හා ආයතන පද්ධතියේ මඟ පෙන්වීම යටතේ අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යසායකයිනුත් හරිත මිත්‍ර, පරිසර හිතකාමී කර්මාන්ත සඳහා දිරිමත් කරමින් සිටිනවා. එසේම මෙම නව කර්මාන්ත සඳහා රොබෝටික් තාක්‍ෂණය ලබා දීමට ද අප බලාපොරොත්තු වෙනවා. එසේම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තම ප්‍රදේශය තුළම මෙම නව කර්මාන්ත ආරම්භ කරමින් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා උදා කර දෙමින්, කටයුතු කිරීමට අපි පක්‍ෂ – පාට – ජාති –  ආගම් භේදයනික් තොරව එක හා සමානව ඔවුන්ට උදව් කරමින් අතහිත දීමට බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *