සීෂෙල්ස් රාජ්‍යය හා ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීම, අප්‍රිකානු මහද්වීපයේ රටවල වෙළඳපොළට ප්‍රවිශ්ඨ වීමට ශ්‍රී ලංකාවට ඇති උපාය මාර්ගික අවස්ථාවක් බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
 ඒ මහතා මේ බැව් පැවසුවේ, ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරීත්වය ඉහළ නැංවිම යන තේමාවෙන් යුතුව, ශ්‍රී ලංකාව හා  සීෂෙල්ස් රාජ්‍යය අතර ද්වීපාර්ශ්වික වෙළඳ හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද හමුවක සමාරම්භක දේශණය පවත්වමිනි.
 පසුගිය (27) දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ පැවති මෙම ව්‍යාපාරික හමුව සඳහා, ශ්‍රී ලාංකික අපනයන හා ආයෝජන සමාගම් 125 ක් නියෝජනය කරමින්, නියෝජිතයන් 130 ක් පමණද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව ඇතුඵ රේඛීය ආයතන නිලධාරින්ද, සීෂෙල්ස් රාජ්‍යයේ මුදල්, වෙළඳ හා ආයෝජන අමාත්‍ය, පියරේ ලැපෝර්ගෝ මහතා ප්‍රමුඛ, සීෂෙල්ස් ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන විධායක, රූපර්ට් සිමියොන්, සංචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම්, ඈන් ලැෆෝර්ටූන් මහත්මිය ඇතුඵ එරට ප්‍රධාන සමාගම් කිහිපයක ප්‍රධානීන්ද සහභාගී වූහ.
 seycells 01
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා කියා සිටියේ, 2010 වසරේදී සීෂෙල්ස් ජනාධිපති, ජේම්ස් මිෂෙල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හා  2013 මෙන්ම 2014 දී ශ්‍රී ලංකා ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාගේ සීෂෙල්ස් සංචාරයෙන්ද පසු දෙරට අතර ආර්ථික සබඳතා ප්‍රබල ලෙස වර්ධනය වී ඇති බවයි. එමෙන්ම මෙරට කර්මාන්ත ස්ථාපිත කිරීමෙන්, ඉන්දියාව හා පකිස්ථානය සමඟ ශ්‍රී ලංකාව එළඹ ඇති නිදහස් වෙළඳ ගිවිසුම් භාවිතා කර, එම රටවල විශාල වෙළඳ පොළකට ප්‍රවිශ්ඨ වීමට සීෂෙල්ස් ආයෝජකයන්ට මඟ පෑදෙන බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවා මේ වන විටත් සීෂෙල්ස් වෙත තම ගමන් වාර ආරම්භ කොට ඇති බැව්ද, ලංකා බැංකුව, නවලෝක, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි දේශීය ආයතන දැනටමත් සීෂෙල්ස්’හි ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කොට ඇති බවද හෙතෙම කියා සිටින ලදී. කෙසේ වුවද සීෂෙල්ස් ආයෝජකයන් තවමත් ශ්‍රී ලංකාව තුළට ඇතුඵ වී නොමැති අතර, එසේ පැමිණෙන්නන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට තම රජය කටයුතු කරන බවද ඇමතිවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සීෂෙල්ස් මුදල්, වෙළඳ හා ආයෝජන අමාත්‍ය, පියරේ ලැපෝර්ගෝ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමන තම රට ඉතා සමීපව අධ්‍යයනය කළ බවත්, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ තමන් සතුටු වන බවත්ය.
අප්‍රිකානු මහද්වීපයට නැගෙනහිරින් හා මැදපෙරදිගට දකුණින් පිහිටි දූපතක් වන සීෂෙල්ස් රාජ්‍යය උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති බවත්, මෙම භූගෝලීය තත්වය, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් තම වාසිය වෙනුවෙන් යොදා ගනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම පැවසීය. ශ්‍රි ලංකාව හා සීෂෙල්ස් අතර පවතින ද්වීපාර්ශ්වීක ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමක් කර ගැනීම තම අභිප්‍රාය බැව්ද ලැපෝර්ගෝ මහතා තවදුරටත් පැවසීය.
 seycells 05
දෙරටටම වැදගත් වන ආයෝජන අවස්ථා පිළිබඳ දැනුවත් කිරිම, ද්වීපාර්ශ්වීය වෙළඳ තොරතුරු හුවමාරුව, අන්තර් ව්‍යාපාරික සම්බන්ධතා ඇතිකිරීම මෙම හමුවේ ප්‍රමුඛ අරමුණු බැව්ද, එම අරමුණු ක්‍රියාත්මක කිරීමේලා මෙම හමුව වැදගත් ආරම්භයක් වූ බැව්ද, සභාව ඇමතූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ මහතා පැවසීය.
ධීවර හා නාවුක යාත්‍රා, ධාන්‍ය වර්ග ශ්‍රී ලංකාව, සීෂෙල්ස් වෙත අපනයනය කරන අතර, එරටින් ශ්‍රී ලංකාවට ආනයනය කරන ප්‍රධාන භාණ්ඩ වන්නේ කුඵබඩු ය. 2013 වසරේදී ශ්‍රී ලංකා හා සීෂෙල්ස් රාජ්‍ය අතර වූ ද්වීපාර්ශ්වික වෙළඳ අගය, ඇමරිකානු ඩොලර් මිලියන 3.7 ක් තරම් අඩු අගයක වූ අතර, ගොඩනැගෙමින් පවතින වෙළඳ හා ආයෝජන සබඳතා හේතුවෙන් ඉදිරියේදී මෙම තත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බැව් දෙරටේම නියෝජිතයන්ගේ පොදු මතය විය. මෙම හමුව සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකීය ආයෝජකයන්, සීෂෙල්ස්හි ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක්වීම විශේෂ සිද්ධියක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *