පූර්ව අයවැය අදහස් විමසීම් වලදී සුළු හා මධ්‍ය පරිමාණ අංශ ව්‍යවසායකයන්ගෙන් අති විශාල යෝජනා ප්‍රමාණයක් ලැබී ඇති බැවින් 2015 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයට වඩාත්  හිතකර එකක් වීමට වැඩි ඉඩක් ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය, මාතර හා ගාල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩල හා එක්ව ප්‍රථම සංවිධානය කළ, දකුණු පළාතේ හොඳම ව්‍යවසායකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවැත්වූ උළෙලක ප්‍රධාන ආරාධිත දේශණය පවත්වමිණි. මෙම උළෙල පසුගිය 30 වැනිදා පස්වරුවේ, මාතර සනායා මැන්ෂන් හෝටලයේදී පැවැත්විණි.
Matara Award Ceramony 03
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, මෙරට දළ ජාතික නිෂ්පාදිතයට 65% කම දායකත්වය ලබාදෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් විසින්. ඒ වෙනුවෙන් ඔබ සැමට අපගේ කෘතඥතාවය පිරිණැමීමට මා කැමතියි.
 දකුණු පළාත තුළ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර හා ඒවායේ තාක්ෂණික හැකියාවන් දියුණු කිරීමට මාගේ අමාත්‍යාංශය යටතේ පවත්නා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විශාල සේවාවන් ප්‍රමාණයක් දියත් කර තිබෙනවා. ඒ අනුව, මෙම ප්‍රදේශ වල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වෙනුවෙන්ම සංවර්ධන නිලධාරීන් පත්කොට තිබෙනවා. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලබාදෙන සේවා ඔවුන් හරහා සෘජුවම ලබාගැනීමට ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින්ට අවස්ථාව හිමි වෙනවා. එම අධිකාරිය විසින් ලබාදෙන තවත් සේවාවක් වන්නේ, ව්‍යවසායකයින් සඳහා හිතකර පරිසරයක් ඇතිකිරීමේ අරමුණින් ව්‍යාපාරික සේවා සපයන ආයතන සමඟ ඒකාබද්ධව දිස්ත්‍රික් ව්‍යවසායක සංසද පවත්වාගෙන යාමයි. මෙමගින් ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු වලට පිළියම් ලබාදීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම ඔවුන් සඳහා කළමණාකරණ හා තාක්ෂණික පුහුණුව ලබාදීමත් සිදුකරනවා. මෙම සංසද වලට සම්බන්ධ වන ලෙස මා සියළු ව්‍යවසායකයින්ගෙන් හා කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අද දින සම්මාන හිමිකර ගන්නා සියළු කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් සැමටම මාගේ සුබපැතුම් පරිනමනවා.
 මෙම සම්මාන උළෙලේදී දකුණු පළාතේ හොඳම අපනයනකරු සම්මානය හිමිකරගත්, මීට පෙර වසර වලදී ජාතික තලයේ සම්මානයන් කිහිපයක්ද හිමිකරගත්, සමගි ස්පයිසි එක්ස්පෝර්ටර්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ, ජේ.සී.අබේරත්න මහතා පැවසුවේ, සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් අගය කිරීම් වස් මෙවැනි සම්මාන උළෙලවල් සංවිධානය කිරීම අගය කරන බවයි. එමෙන්ම ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරිය ක්ෂේත්‍රයේ නිරත වූවන්ට ලබාදෙන සහායද අබේරත්න මහතාගේ පැසසුමට ලක්විය.
 දකුණු පළාත් ව්‍යවසායක සම්මාන උළෙලේ මෙම වසරේ හොඳම පරිසර හිතකාමී කර්මාන්ත කරුවාට හිමි සම්මානය හිමිකරගනු ලැබූයේ, ශ්‍රීපති කන්ට්ට්‍රැක්ටර්ස් පුද්ගලික සමාගමයි. ඒ වෙනුවෙන් සම්මානය පී.එම්.රුවන් දයාජීව මහතා ලබාගන්නා ලදී. වසරේ හොඳම අපනයනකරුට හිමි සම්මානය, සමගි ස්පයිසි එක්ස්පෝර්ටර්ස් ආයතනය වෙනුවෙන්, බී.ඒ.ජානක අබේරත්න මහතා විසින් ලබා ගත්තේය. හොඳම ථලදායීතා ව්‍යාපාරයට හිමි සම්මානය, රුවන්සිරි රියදුරු පාසැල වෙනුවෙන් චන්ද්‍රසිරි එදිරිවීර මහතාද, හොඳම නව්‍යකරණ ව්‍යාපාරයට හිමි සම්මානය, මයික්‍රො ඇග්‍රො ප්‍රොඩක්ට් ආයතනය වෙනුවෙන්, කේ.කේ.ප්‍රියන්ත සමන් කුමාර මහතාද, හොඳම අගය එක්කළ කර්මාන්තයට හිමි සම්මානය, නිමල් කොයා ප්‍රොඩක්ට්ස් ආයතනය වෙනුවෙන්, නිමාලි ගුණවර්ධන මහත්මියදහිමිකර ගන්නා ලදී.
 මහා පරිමාණ අංශය යටතේ, කර්මාන්ත හා නිෂ්පාදන අංශයේ රන් සම්මානය, එම්.එම්.ඒ.වහීල් මහතා විසින්ද, කෘෂි අංශයේ සම්මානය, ඩබ්ලිව්.එච්.ජී.සමූහ ආයතනය වෙනුවෙන් ඩබ්ලිව්.එච්.ගාමිණී මහතා විසින්ද, සේවා අංශය වෙනුවෙන් රන් සම්මානය, සිරිපාල කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙනුවෙන්, පී.එච්.රුවන් දයාජීව මහතා විසින්ද හිමිකර ගන්නා ලදී.
 මධ්‍ය පරිමාණ අංශය යටතේ පිළිවෙලින් කාර්මික නිෂ්පාදන, කෘෂිකර්මය පදනම් කරගත් නිෂ්පාදන හා සේවා අංශ වෙනුවෙන් රන් සම්මාන, විෂන් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ, ප්‍රගීත් දන්තනාරායන, මලිඳු ඩේරීස් සමාගම වෙනුවෙන්, එන්.ජී.මංජුල නිශාන්ත සහ රුහුණු මෝටර් ඉන්ජිනියර්ස් ආයතනය වෙනුවෙන්, ධම්මික ගණේගමගේ යන මහත්වරුන්ද හිමිකර ගන්නා ලදී.
 සුළු පරිමාණ අංශය යටතේ පිළිවෙලින් කාර්මික නිෂ්පාදන, කෘෂිකර්මය පදනම් කරගත් නිෂ්පාදන හා සේවා අංශ වෙනුවෙන් රන් සම්මාන, ප්‍රින්ට් හවුස් ආයතනය වෙනුවෙන්, වයි.ජී.අජන්ත ශ්‍රීලාල්, මයික්‍රො ඇග්‍රො ප්‍රොඩක්ස් ආයතනය වෙනුවෙන්, කේ.කේ.ප්‍රියන්ත සමන් කුමාර සහ නිමල් මෝටර්ස් ආයතනය වෙනුවෙන්, ඒ.ඒ.නිමල් යසස් කාන්ත යන මහත්වරුන්ද දිනා ගන්නා ලදී.
Matara Award Ceramony 01
මෙම අවස්ථාවට දකුණු පළාත් අමාත්‍යවරුන් වන, ඩී.වී.උපුල්, චන්දිම රාසපුත්‍ර, ඉන්දීය කොන්සල් ජනරාල් (හම්බන්තොට කාර්යාලයේ) රාජ් කුමාර්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, එස්.සහීඩ්, හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සභාපති, සුගන්ත අක්මීමන යන මහත්වරුන්ද, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, සම්මාන ලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *