2013 වසරේ ශ්‍රී ලංකාව අත්කර ගත් වාර්තාගත අපනයන ආදායමේ වැඩි දායකත්වය, කාර්මික නිෂ්පාදන අංශය විසින් සපුරා ඇතැයි, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

 

අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ වයඔ පළාත් සභාවට අනුබද්ධ, කර්මාන්ත සේවා කාර්යාංශය සංවිධානය කළ 2013 “වයඔ විජයාභිමානී” ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙල අමතමිනි.

 

වයඔ පළාතේ ආර්ථිකය නැංවීම උදෙසා අගනා දායකත්වයක් ලබාදුන්, ක්ෂුද්‍ර, මධ්‍යම, විශාල හා මහා පරිමාණ ක්ෂේත්‍රයන්හි හදුණාගත් ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් දිරිගැන්වීමත්, ඔවුන්ගේ සේවය ඇගයීමත් වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කොට තිබූ අතර, එය ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වැනිදා පස්වරුවේ, කුරුණෑගල වයඔ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 Vijayaabhimaani  01

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, “මෙවන් සම්මාන හරහා මොවුන් ඇගයීමට ලක්කිරිම ඔවුන්ට විශාල දිරිගැන්වීමක් හා ශක්තියක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. වයඔ පලාතේ සියඵම පරිමාණ වල ව්‍යවසායකයින් මෙන්ම, කර්මාන්ත හා නිෂ්පාදන අංශයන් ආවරණය වන පරිදි සම්මාන ප්‍රදානයට කටයුතු කිරීම පිළිබදව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස මාගේ ප්‍රශංසාව පළකරන්න කැමතියි.

 

කර්මාන්ත අංශය ගැන කතාකරන විට, අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් යෝජනා කළ ව්‍යාපෘති වල ප්‍රථිථලයක් ලෙස, අද කර්මාන්ත අංශය සමස්ථ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 28% ක් පමණ අත්කර ගැනීමට සමත්ව සිටිනවා. ඒ වගේම පසුගිය වසරේ අප ලබාගත් වාර්තාගත අපනයන ආදායම සදහා වැඩිම නියෝජනය ලබාදී ඇත්තේ ඇගලුම් වැනි කාර්මික නිෂ්පාදන හරහායි. ඔබ නියෝජනය කරන මේ වයඔ පළාත, රටේ සමස්ථ දළ ජාතික නිෂ්පාදිතයෙන් 10% කට පමණ දායක වන බව මා සදහන් කරන්න සතුටුයි. එය ඔබටද ආඩම්බර විය හැකි කරුණක්. ඒ වගේම රටේ දියුණුම ප්‍රදේශය වන බස්නාහිර පළාතට යාබදව පිහිටා තිබීම නිසා, එම ප්‍රදේශ වල ස්ථාපිතව ඇති දියුණු භෞතික සම්පත් මෙන්ම වරාය හා ගුවන් තොටුපළ වැනි ස්ථානයන්හි සේවා ඉතා පහසුවෙන් ලබාගන්නටත් ‍වයඔ පළාතේ කර්මාන්ත කරුවන්ට හැකියාව තිබෙනවා. මේ නිසා මෙම පළාතේ කාර්මික අංශ තවදුරටත් දියුණු වීමට හොද පසුබිමක්ද තිබෙනවා.

 

මාගේ අමාත්‍යාංශය යටතේ පවත්නා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් පසුගිය 2012 – 2013 වර්ෂ වලදී වයඔ පළාතේ ව්‍යවසායක හා කර්මාන්ත ක්ෂේත්‍ර වල දියුණුව සදහා රුපියල් මිලියන 3.5 ක පමණ මුදලක් වැය කළ බව මා මෙම අවස්ථාවේ කියන්න සතුටුයි. එම මුදල් වැයකරමින් අප මෙම පළාතේ කොහු ආශ්‍රිත කර්මාන්තය සහ කාන්තා ව්‍යවසායකත්වය දියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ වගේම මෙම වසරේදී මෙම පළාත තුළ මැටි කර්මාන්තය හා ලුහු ඉංජිනේරු කර්මාන්ත දියුණු කිරීම සදහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හරහා මා මුදල් වෙන්කරදී තිබෙනවා.

 

 

 

මෙම උළෙලේදී සම්මාන හා සහතික ලබන වයඔ පළාතේ ව්‍යාපාරික විශිෂ්ඨයින් සියඵ දෙනාට සුබපැතුම් පිරිනමන්නත්, සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කළ, සියඵ පාර්ශ්වයන්ට මාගේ ගෞරවය පුදකරන්නත් කැමතියි.”

 Vijayaabhimaani 03

කර්මාන්ත, නිෂ්පාදන, කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර සහ සේවා අංශ යටතේ, සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් 61 ක් දෙනෙක් ඇගයීමට ලක්විය. ක්ෂුද්‍ර අංශයේ විශිෂ්ඨතම ව්‍යාපාරිකයාට හිමි සම්මානය, නිරන්ගා එන්ටර්ප්‍රයිසස් ආයතනයත්, නිෂ්පාදන අංශයේ විශිෂ්ඨතා සම්මානය, ටී.එන්.ජී.පැකේජින් ආයතනයටත් හිමිවිය. ට්‍රොපිකල් හෙල්ත් ෆුඩ්ස් ආයතනය මධ්‍යම අංශයෙන්ද, සෙලින් එක්ස්පෝටර්ස් ආයතනය විශාල පරිමාණ අංශයෙන්ද, දන්කොටුව පෝසිලේන් ආයතනය මහා පරිමාණ අංශයෙන්ද විශිෂ්ඨතා සම්මාන හිමිකර ගන්නා ලද අතර, ව්‍යවසායකයින් 30 දෙනෙකු කුසලතා සහතික හිමිකර ගන්නා ලදී.

ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ, වයඔ ප්‍රධාන අමාත්‍ය, දයාසිරි ජයසේකර, වයඔ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් හා කර්මාන්ත සේවා කාර්යාංශයේ සභාපති, ජයන්ත විජේරත්න, එහි විධායක අධ්‍යක්ෂ, නීලකාන්ත් වන්නිනායක යන මහත්වරුන්ද කතාකළ අතර, වයඔ පළාත් ආණ්ඩුකාර, තිස්ස ආර්. බලල්ල මහතාද, කර්මාන්ත කරුවන්, ව්‍යවසායකයින් හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *