මෙම වසරේ පළමු කාර්තුවේ පමණක් යුරෝපා සංගමයට සිදුකළ අපනයන 16.3% කින් වර්ධනය වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ මැයි මස 07 වැනිදා කොළඹදී පැවති යුරෝපා ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වීය වෙළද සාකච්ඡාවන්හි දෙවන සැසිවාරයට සහභාගී වෙමිනි. කොළඹ ගලදාරී හෝටලයේදී මුඵදුන් මෙම සැසිවාරය, ශ්‍රී ලංකාවේ යුරෝපා වෙළද හා වාණිජ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වීය වෙළද ගණුදෙනු ශක්තිමත් කිරීම හා විශේෂිත නිෂ්පාදන ක්ෂේත්‍ර හතරකට (04) අයත් භාණ්ඩ යුරෝපා සංගමය වෙත හදුන්වා දීම මෙම සැසියේ ප්‍රධාන අරමුණයි.

07MAY3

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, රටවල් 28 කින් සමන්විත යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ගැණුම්කරු වෙනවා. 2013 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය හා මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වූ තෙමසක කාලය සන්සන්දනය කරන විට, ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට සිදුකළ අපනයන 16.3% කින් ඉහළ ගොස් තිබෙනවා. එහි සමස්ථ වටිනාකම, ඇමරිකානු ඩොලර් මිලියන 896 ක් වෙනවා. 2013 වසරේදී ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර ද්වීපාර්ශ්වීය ආනයන අපනයන වෙළද වටිනාකම ඩොලර් බිලියන 4.9 ක්. මෙයින් ශ්‍රී ලංකාව එම සංගමයේ රටවලට සිදුකළ අපනයනයන්හි වටිනාකම ඩොලර් බිලියන 3.27 ක් පමණ වෙනවා.

යුරෝපා සංගමයට අප ප්‍රධාන වශයෙන් අපනයනය කරන්නේ ඇගලුම් හා ගෙත්තම් කරන ලද ඇගලුම්, රසායනික, ප්ලාස්ටික් හා ලෝහමය නිෂ්පාදනයි. පසුගිය වසරේදී අප යුරෝපා සංගමයට සිදුකළ අපනයනයන්ගෙන් 60% ක්ම ඇගලුම් වීම විශේෂයි.

අපගේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධානතම හා විශාලතම ගැණුම්කරු යුරෝපා සංගමයයි. එබැවින් එම සංගමයේ රටවල් සදහා අපගේ වෙළද ක්ෂේත්‍රය තුළ වැදගත් ස්ථානයක් හිමිවෙනවා. මේ නිසා යුරෝපා සංගමයේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්තීන්හි වෙනස් වීම් පිළිබදව නිරන්තරයෙන් අප දැඩි සංවේදී බවකින් තමයි කටයුතු කරන්නේ.

තවද වසර 04 කට පසු 2013 වසරේ දෙසැම්බර් මස බ්‍රසල්ස් නුවරදී පැවති යුරෝපා ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටු හමුව, දෙරට අතර වෙළද ගනුදෙනු ශක්තිමත් බවකින් යුතුව ඉදිරියට ගෙන යාමට මහත් රුකුලක් වන බැව් සදහන් කළ යුතුමයි.

මෙම සැසිවාරයේ යුරෝපා සංගම් දූත පිරිසේ ප්‍රධානී හා ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති, ඩේවිඩ් ඩේලි, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ෆයිසර් මුස්තාපා, ශ්‍රී ලංකා යුරෝපා වෙළද හා වාණිජ මණ්ඩලයේ සභාපති, දිලීපන් ත්‍යාගරාජා යන මහතුන්ද අදහස් දැක්වූ අතර, චෙන්නායි නුවර පිහිටි බෙල්ජියම් කොන්සල් කාර්යාලයේ කොන්සල් ජනරාල්, කත්ලීජ් ෆ්රූතේෆ් මහත්මියද, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී, ආචාර්ය ජියාන්ඩොමොනිකෝ මිලානෝ, දිල්ලියේ පිහිටි චෙකොස්ලෝවැකියානු තානාපති කාර්යාලයේ ආර්ථික හා දේශපාලන කටයුතු ප්‍රධානී ජනා පීටර්කෝවා යන මහත්වරුන්ද, ශ්‍රී ලාංකික හා යුරෝපා වෙළද නියෝජිතයන් හා අපනයනකරුවන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *