2015 වර්ෂයේදී රුපියල් මිලියන 21 ක් පාඩු ලැබූ ලක්සල ආයතනය පසුගිය වර්ශයේදී (2016) රුපියල් මිලියන 4 ක ලාභයක් උපයාගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යා රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කොළඹ තුම්මුල්ලේ පිහිටි ලක්සල ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේ අලුතින් ආරම්භකල සුපිරි භාණ්ඩ අලෙවි අංශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ලක්සල , සතොස වැනි ආයතන විශාල ලෙස පාඩු ලබමින් පැවති ආයතන. 2015 දී නව රජය බලයට පත්වීමෙන් පසුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස මෙම පාඩු ලැබූ ආයතන භාරගන්න හිතේ යම් චකිතයක් තිබුනත්, මේ ආයතන දියුණු කරල ලාභ ලබන තත්වයට ගෙන එන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුනා. නව පාලන අධිකාරිය යටතේ මේ වන විට මෙම පාඩු ලැබූ ආයතන ලාභ ලබන තත්වයට ගෙන ඒමට අපට හැකිවෙලා තිබෙනවා.

පසුගිය අපනයන සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශවලින් අපනයන සම්මාන දිනාගැනීමට ලක්සල ආයතනයට හැකියාව ලැබුනා. එයට මුලිකම හේතුව තමයි මම මේ ආයතන භාරගත් වහාම මෙම ආයතන සඳහා දක්ෂ කළමනාකාරිත්වයක් පත්කිරීම. එම කළමනාකාරීත්වයේ සහයෝගය ඇතිව අද වනවිට අපට මේ ආයතන, විශේෂයෙන්ම ලක්සල වැනි ආයතන ලාභ ලබන තත්වයට ගෙන එන්න හැකි වෙලා තියෙනවා.

විශේෂයෙන් මෙරට දේශීය අත්කම් භාණ්ඩ අලෙවිකරණයයේදී ලක්සලට ප්‍රමුඛස්ථානය හිමිවෙලා තිබෙනවා. ලක්සල මගින් ලංකාව තුළ සිටින පාරම්පරික ශිල්පීන් විදේශීය වෙළදපොල සමග සම්බන්ධ කිරීම සිදුකරනවා. අද වන විට ලක්සල මගින් භාණ්ඩ වර්ග 8000 ක් පමණ අලෙවිකරන අතර , මීට පෙර ලක්සලට ලියාපදිංචි භාණ්ඩ සැපයුම්කරුවන් 6000 ක පමණ පිරිසක් සිටියත් අද වන විට එම සංඛ්‍යාව 8760 දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය වසරේ භාණ්ඩ අලෙවියෙන් ලක්සල රුපියල් මිලියන 788 ක් ආදායම් ලබා තිබෙන අතර මේ වසරේ මුල් මාස 6 තුලදී රුපියල් මිලියන 381 ක් මේ වන විට උපයා තිබෙනවා. ” යැයි පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *