විල්පත්තු අභය භූමිය නැවත පදිංචි කිරීම් සිදුව නැති බවත්, මරිච්චිකඩ්ඩ්, කරඳකුලි, පාලකුලි යන කිසිදු ප්‍රදේශයක උතුරු ප්‍රදේශයට පිටින් පැමිණි එකදු මුස්ලිම් පවුලක් හෝ පදිංචි කොට නැති බවත්, වගකීමෙන් වගකීමකින් ප්‍රකාශ කරන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා විල්පත්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, විල්පත්තුවේ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා වල සත්‍ය තත්වය පෙන්නුම් කිරීම සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් සමඟ කළ විල්පත්තු සංචාරය අතරතුර මරිච්චිකඩ්ඩි මුස්ලිම් පල්ලියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, විල්පත්තු සීමාවේ වන මෙම ගම්මාන සඳහා උතුරු ප්‍රදේශයට පිටින් පැමිණි කිසිදු මුස්ලිම් පවුලක් නැවත පදිංචි වී නැති බව මට වගකීමෙන් කියන්න පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් විල්පත්තු අභය භූමියට ගොස් නිරීක්ෂණය කළ හැකියි, එම වනය තුළ එක ගෙයක් හෝ සාදා නොමැති බව.
 
මුලිලිකුලම, මරිච්චිකඩ්ඩ්, කරඳකුලි, පාලකුලී ප්‍රදේශවල සිටි ජනතාවට 1990 ඔක්තෝබර් 27 දින එල්.ටී.ටී.ඊ ය නියෝග කළා පැය දෙකක් තුළ මෙම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස. පුත්තලමට වැටී තිබූ අතුරු පාරවල් ඔස්සේ පා ගමනින්ද, තමුන්ට අයත්ව තිබූ ට්‍රැක්ටර්, යතුරු පැදි හෝ පාපැදි වලින් ද එම ජනතාව එදා එම නියෝගය අනුව ගම් බිම් වලින් ඉවත්ව ගියා. තවත් අය මුල්ලිකුලම සිට බෝට්ටු වලින් කල්පිටියට ගියා. එසේ ගිය අය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව, මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්ට අයත් කඳවුරු 168 ක ජීවත් වීමට සිදුවුණා.
 
2010 සාමය ලැබිමෙන් පසු ඔවුන් ඉල්ලිමක් කලා තමන්ගෙ ගම් වලට යන්න දෙන්න කියල. නමුත් එසේ යන්න බැරි වුණේ කොටි සංවිධානය විසින් මෙහි බිම්බෝම්බ වලදාලා තිබ්බ නිසා. ආණ්ඩුව සියළුම ගම්වල බිම්බෝම්බ ඉවත්කළ පසු 2010 දී යන්න පුළුවන් කියා දන්වා තිබුණා. එම දැන්වීමෙන් පසු මම නියෝජිතයන් සමඟ මෙම ගම්මානයට පැමිණියා. එසේ වඑන විට මෙහි එක ගෙයක් හෝ තිබුනේ නැහැ. එදා මෙම ප්‍රදේශ වල පල්ලි තුනක් තිබුණා. මරිච්චිකඩ්ඩ්, කරඳකුලි, පාලකුලි යන පල්ලි. ඉන් එකක් අදත් දැකගන්න පුළුවන්. පරණ ලිං දැනටත් දකින්න පුළුවන්. එසේ පලා ගිය ජනතාව තමයි මේ නැවත පැමිණ තිබෙන්නේ.
 
උතුරු පළාතෙන් පිට, වෙන පළාත්වල මිනිස්සු මරිච්චිකඩ්ඩ්, කරඳකුලි, පාලකුලි මේ ප්‍රදේශ වල පදිංචි වෙලා නැහැ. ඒ සියළු දෙනා 1990 දී බලහත්කාරයෙන් පිටමං කරපු අය. 1990 දී මේ ප්‍රදේශවල ඡන්ද නාම ලේඛණ වල ඉන්නවා. ඒ වගේම යුද කාලයේ ඔවුන් ජිවත් වූ කඳවුරු වල ඔවුන් ලියාපදිංචි නාම ලේඛණ තිබෙනවා.
 
ඒ වගේම මොවුන් මෙසේ පදිංචි කරන්නේ එල්.එල්.ආර්.සී.වාර්තාව අනුවයි. එම වාර්තාවට අනුව, උතුරේ ජනතාව 1990 ට පෙර ජීවත් වූ ප්‍රදේශ වල නැවත පදිංචි කරනවාය කියන කාරණය පිළිඅරන් තිබෙනවා. සිංහල, මුස්ලිම් හෝ දෙමළද කියා එසේ පදිංචි කිරීමේදී බලන්නෙ නැහැ. එමෙන්ම පසුගිය රජය ජිනීවා වලටත් ඒ ගැන පොරොන්දු වුණා. එබැවින් පසුගිය රජය පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය හරහා තමයි මේ කටයුතු ආරම්භ කළේ. එම බලකායෙන් පත්කළ උප කොමිටියක් හරහා තමයි මෙම නැවත පදිංචි කිරීමේ කාර්යය සිදුකළේ. එහි සාමාජිකයන් ලෙස, ඉඩම් , පරිසර, වනසම්පත් අමාත්‍යාංශ නිලධාරීන්ද, දිසාපති, උප දිසාපතිවරුද, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ ලේකම්වරයාද ඇතුළු පිරිසක් කටයුතු කළා.  
 
එක් එක් ගම් වලට ගොස්, ග්‍රාමසේවා කොට්ඨශ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව, ඉඩම් කච්චේරි පවත්වල  තමයි මේ පිරිස් තෝරාගෙන තියෙන්නෙ. එසේ නැතිව බලයෙන් හෝ වෙනත් කාගෙවත් බලපෑමකට එසේ කර නැහැ. එහිදී ඡන්ද හිමි නාමලේඛන, ග්‍රාම නිලධාරී සහතිකය, ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය හා සෙසු අයිතිය ගැන තොරතුරු සොයා බලා තමයි සියළු කටයුතු කළේ.
 IMG_0186
1990 දී ලක්ෂයක් මුස්ලිම් ජනතාව උතුරු පලාතෙන් පලවා හරිනු ලැබුවා. එයින් 30,000 ක් පමණයි තවම මෙහි නැවත පැමිණ තිබෙන්නෙ. තවත් 70,000 ක් වෙනත් පළාත් වලයි ජිවත් වන්නේ. පුත්තලම, අනුරාධපුර, කුරුණෑගල දිස්ත්‍රික්ක වල දැනට ඔවුන් ජීවත් වෙනවා. ඒසේ පැමිණි 30,000 ට තමයි මේ තරම් ප්‍රශ්ණ ඇතිකරන්නෙ. මරිච්චිකඩ්ඩ්, කරඳකුලි, පාලකුලි, කොන්ඩච්චි වල දැනට පදිංචි කරන තිබෙන්නෙත් පවුල් 2000 ක් පමණයි. සෙසු අය නොපැමිණ සිටින්නේ ඔවුන්ට මේ ප්‍රෙද්ශ වලට පැමිණ ජිවත් වීමට පහසුකම් නොමැති නිසයි. එසේ පැමිණෙන අයට ප්‍රදේශීය ලේකම් හරහා තාවකාලික නිවසක් ඉදිකර ගැනීමට රු. 50,000 ක මුදලක් ලබාදෙනවා.
 
නීතියට පිටින් පදිංචි කර ඇත්නම්, වනය හෙලිකර ඇත්නම් ඒ පිළිබඳ සොයා වරදකරුවන්ට දඩුවම් පමුණුවන ලෙස මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම අවුරුදු 25 ක් අවතැන් වෙලා ඉඳල ආපු මේ වගේ ජනතාවකට අසාධාරණයක් කරන්න එපා කියල ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමා ගෙනුත්, රටවැසියන්ගෙනුත්, රජයෙකුත් ඉල්ලීමක් කරනවා. මේ ජනතාවට අපි සැවොම එකතු වී උපරිම සහාය දිය යුතුයි. මාධ්‍යයට, ආණ්ඩුවට, විපක්ෂයටත් එහි වගකීමක් තිබෙනවා.
 
එමෙන්ම මා කියන්න කැමතියි, එල්.ටි.ටී.ය විසින් මේ ආකාරයෙන් පළවා හැරි සිංහල හා දෙමළ ජනතාවත් මේ ආකාරයටම නැවත ඔවුන්ගේ ගම් බිම් වල පදිංචි කළ යුතුයි.
මෙහිදී මාධ්‍යවේදීන්ගෙන් පැන නැගුණු ප්‍රශ්ණ හා අමාත්‍යවරයා ඒ සඳහා ලබාදුන් පිළිතුරු මෙසේය.
මාධ්‍ය –  ඇමතිතුමනි, ඔබ කිව්වා දැනට පදිංචියට පැමිණ ඇත්තේ පවුල් 30% ක ප්‍රමාණයක් පමණක් බව. එසේ නම් ඉතිරි අය දැනට කොහේද ඉන්නෙ..
 
අමාත්‍යවරයා – ඉතිරි පවුල් තවමත් ඉන්නේ මීට පෙර අවුරුදු 25 ක් පමණ සිටි ප්‍රදේශ වලයි. ඔවුන්ට තවම පැමිණීමට නොහැකි වී ඇත්තේ මේ ප්‍රදේශ වල යටිතල පහසුකම් තවමත් සකස් වී නොමැති නිසයි.
මාධ්‍ය –  මෙසේ පැමිණ සිටින ජනතාව වෙනුවෙන් මාර්ග, නිවාස, විදුලිය, ජලය ඇතුළු මූලික පහසුකම් ඔබ දියුණු කරන්නේ කොහොමද ?
අමාත්‍යවරයා – අවුරුදු 25 කට පසු පැමිණි නිසා මේ ප්‍රදේශවල තිබූ පාරවල් හා වෙනත් පොදු පහසුකම් කිසිවක් මෙහේ නැහැ. ඒ වගේම පාසැල් අවශ්‍යතා සම්පූර්ණයෙන් විසඳල නැහැ. විශාලතම ගැටළුව තමයි මොවුන්ගේ ජීවනෝපාය කටයුතු සලසා දීම. මෙම ප්‍රදේශ වල බොහෝ දෙනා ජීවත් වුණේ, කෘෂිකාර්මික කටයුතු හරහා සහ ධීවර කර්මාන්තයෙන්. ඒ නිසා අපි රජයෙන් ඉල්ලිමක් කරනවා ඔවුන්ගේ යටිතල පහසුකම් හා ජීවනෝපාය කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස.
මාධ්‍ය – මේ ආකාරයට පදිංචි කරන ජනතාව ඉදිරියේදි වර්ධනය වෙනවා. එසේ වැඩිවන ජනගහනයට පහසුකම් සැලසීම වෙනුවෙන් මොනවගේ සැලැස්මක්ද ඔබට තිබෙන්නෙ.
අමාත්‍යවරයා – ජනගහනය වැඩිවීම සිදුවන්නේ මේ ප්‍රදේශයේ පමණක් නොවේ. මුළු රටේම එය සිදුවෙනවා. එබැවින් එම වැඩිවන ජනගහනයට ඉඩම් නිවාස හා පොදු පහසුකම් ලබාදීම සඳහා යම් පොදු වැඩපිළිවෙලක් සලසන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. තනි ඇමතිවරයෙන් ලෙස මාහට එවැනි සැලැස්මක් නැති වුවත්, රජයක් ලෙස පොදු තීරණයක් ගත යුතුයි කියා මා යෝජනා කරනවා.
මාධ්‍ය – විල්පත්තු වන කලාපයේ පදිංචි වීම වලක්වාලමින් වනසම්පත් දෙපාර්තමේන්තුව විසින් ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම් පුවරුවක් මේ වන විට ඉවත් කොට තිබෙනවා. කවුද ඒක කළේ. ?
අමාත්‍යවරයා – මා ඒ ගැන දැනුවත්ව නැහැ. එසේ කර ඇත්නම් එය වරදක්. ඒ අනුව ඊට සම්බන්ධ අයට දඩුවම් කළ යුතුයි.
මාධ්‍ය –  එම ස්ථාන වල නිවාස තනා තිබුණත් ඇතැම් ඒවායේ ජනතාව පදිංචි නැහැ.
අමාත්‍යවරයා – ඒ මිනිස්සුන්ට දැනට දීල තිබෙන්නෙ තාවකාලික නිවසක් හදන්න රු.50,000 ක් පමණයි. වෙන කිසි පහසුකමක් නැහැ. ඒ නිසයි ඔවුන් තවම ඇතැම් නිවාස වල පදිංචි නැත්තෙ. පහසුකම් ලබාදුන් පසු මිනිස්සු පදිංචි වේවි.
මාධ්‍ය – මේ පදිංචි කිරීම් කරන්නෙ ඔබ නැවත පදිංචි කිරීමේ ඇමති වශයෙන් සිටින කාලයේ. ඒ අනුව මේ පදිංචි කර ඇති භූමිය නියමිත පරිදි නීත්‍යානුකූලව නිදහස් කරගැනීමෙන් පසු පදිංචි කිරීම් ආරම්භ කළ බව ඔබට වගකීමෙන් කියන්න පුළුවන්ද ?
අමාත්‍යවරයා – මම නැවත පදිංචි කිරීමේ ඇමති හැටියට කටයුතු කළේ 2010 වසර දක්වා පමණයි. ඉන් පසුව තිබූ රජයේ මම නැවත පදිංචි කිරීමේ ඇමති නොවෙයි. නැවත පදිංචි කිරීමේ ඇමති ධූරය දරණ සමයේ මෙම ප්‍රදේශ වලට ඒමට හැකි වාතාවරණයක් තිබුණේ නැහැ. මෙම ගම්වල නැවත පදිංචි කිරීම් සිදුවන්නේ 2012 දී . ඒ වන විට ඇමති ධූරය දැරුවේ වෙනත් අයෙක්. මේ සියළු මිනිසුන් පදිංචිව ඉන්නේ නීත්‍යානුකූලව ලබාදුන් ඉඩම් වල පමණයි. රජයේ ඉඩම් හෝ අනවසර භූමි වල ජීවන් වන්නන් සඳහා මේ රටේ ක්‍රියාත්මක වන නීතියක් තිබෙනවා. ඒ නිසා ඔය කියන ආකාරයට කිසිවෙක් වැරදි විධියට පදිංචිව ඉන්නවා නම් එම නීතිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක කළ හැකියි. නඩු දැමිය හැකියි.
මාධ්‍ය – විල්පත්තුවේ පදිංචි කිරීම් පිළිබඳ ජනාධිපතිවරයා යම් තහනමක් පණවා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද ?
අමාත්‍යවරයා – මමත් ජනාධිපතිතුමාට කියල තිබෙනවා මේ ගැන කොමිටියක් දමා විමර්ශනයක් සිදුකරන ලෙස. විල්පත්තුව තුල කරන ඉදිකිරීම් හා ගස් කැපීම් නවත්වන්න කියලයි ජනාධිපතිතුමා නියෝග කරල තිබෙන්නෙ. අපි කියන්නෙත් ඒකම තමයි. විල්පත්තුවට අපිත් ආදරෙයි. එහි සතුන්ට, ගහකොළට අපිත් ආදරෙයි. විල්පත්තුව අපට සම්පතක්. එය ආරක්ෂා කළ යුතුයි කියන මතයේ තමයි මම ඉන්නෙත් මේ ජනතාව ඉන්නෙත්.
මාධ්‍ය – මේ පදිංචි කිරීම් සඳහා නිර්දේශ ලබාදුන් කොමිටියට වනසම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද ඇතුල් ව සිටි බව ඔබ කිව්වා. ඒ කියන්නෙ මේ පදිංචි කිරීම් සඳහා වනසම්පත් දෙපාර්තමේන්තුවේ අවසරය ලැබී තිබෙනවාද ?
අමාත්‍යවරයා – වනසම්පත් එකට අයත් වනාන්තර හෝ ඉඩම් වල කිසිම පවුලක් පදිංචි කරල නැහැ.
මාධ්‍ය – මෙම නැවත පදිංචි කිරීම් සඳහා වනසම්පත් දෙපාර්තමේන්තුවෙන් අක්කර කොමපණ ප්‍රමාණයක් නිකුත් කර ඇද්ද ?
අමාත්‍යවරයා – මුළු උතුරු පළාත තුලම විවිධ තත්වයන් තිබෙනවා. උදාහරණ ලෙස පෙරියමඩු කියන ගමේ මිනිස්සු පලවා හැර තිබෙන කාලෙ, වෙනත් මිනිස්සු ඇවිත් එම ගමේ පදිංචිව සිටිනවා. ඒ නිසා එම ගමේ මුල් පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් ලබාදීමට සිදුව තිබෙනවා. වව්නියාවෙත් කිහිප ස්ථානයක එම තත්වය තිබෙනවා. මුලතිව් වල මුස්ලිම් ගම්මාන 10 ක් පමණ තිබුණා. ඒව මේ වන විට වෙනත් පිරිස් විසින් අත්පත් කරගෙන පදිංචිව සිටිනවා.  ඒ වගේම තමයි මරිච්චිකඩ්ඩ්, කරඳකුලි, පාලකුලි වලත් එම ප්‍රශ්ණයම තිබෙනවා. මෙහි අක්කර 1000 ක් පමණ නාවික හමුදා කඳවුරක් සඳහා ලබාදී තිබෙනවා. අපි එයට විරුද්ධ නැහැ. මොකද අපේ ජනතාව ආරක්ෂාව සඳහා ප්‍රමුඛස්ථානය ලබාදීමට කැමතියි. සිලාවතුර ගත්තත්, එසේමයි. මේ නිසා තමයි එවැනි කටයුතු වලට යොදාගත් භූමිය වෙනුවට විකල්ප ඉඩම් ලබාදීමට සිදුව තිබෙන්නේ.
ඒ අනුව ඔබට වැටහේවි මේක ජාතිකයක, ආගමක ප්‍රශ්ණයක් නොවෙයි. එල්.ටී.ටී.ය. විසින් තමන්ගේ භූමි වලින් ජනතාව එලවා දැමීම නිසා ඇතිවූ ප්‍රශ්ණයක්. මේ ජනතාව පැය දෙකෙන් එලවා දැමුවත්, අවුරුදු 25 කට පසු නැවත පැය දෙකකින් පැමිණ නැවත පදිංචි වෙන්න පුළුවන් කමක් නැහැ. විශාල ප්‍රශ්ණ රාශියක් ඉතිරි වෙලා තිබෙනවා.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඒ.එස්.එම්.නවුපාර්, උතුරු පළාත් සභා මන්ත්‍රී, වී.ජයතිලක, මරිච්චිකඩ්ඩ් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාද, මරිච්චිකඩ්ඩ්, කරඳකුලි, පාලකුලි ප්‍රදේශවල පිරිස් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *