පානීය ජලය ඇසුරුම් කරන ප්ලාස්ටික් බෝතල් (පෙට් බෝතල්) සඳහා ප්‍රමිති සහතිකය ලබා ගැනීම සැප්තැම්බර් මස 01 දා සිට අනිවාර්ය කරන බවත් ප්‍රමිති සහතික නොමැති බෝතල්වල අසුරා ජලය විකුණන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පානීය ජලය ඇසුරුම් කරන බෝතල් වර්ග කිහිපයක් නිසි ප්‍රමිතියෙන් තොර බවට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය විසින් කරන ලද වැටලීම්වල දී අනාවරණය වී ඇති බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12(2) වගන්තිය අනුව ඇසුරුම් කළ පානීය ජල බෝතල් නිෂ්පාදකයින්, බෙදාහරින්නන් හා වෙළෙඳුන් විසින් පොලිමර් ද්‍රව්‍යෙය්න සාදනු ලබන ජල බෝතල් එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය දරන්නේ නම් මිස එම බෝතල්වල පානීය ජලය ඇසීරීම, බෙදා හැරීම, ප්‍රවාහනය, ගබඩාකිරීම සහ විකිණීම සපුරා තහනම් කරමින් 2015 ජුනි මස 11 වැනි දින ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි. එම නිවේදනය 2016 සැප්තැම්බර් මස 01 දින සිට බලපැවැත්වෙන බවත් තිලකරත්න මහතා වැඩිදුරටත් පවසයි.
පාරිභෝගික අධිකාරිය පවසන්නේ පානීය ජල ඇසුරුම් සඳහා නිෂ්පාදනය කරනු ලබන බෝතල් සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ අමුද්‍රව්‍ය අනුමත ප්‍රමාණය ඉක්මවා යොදා ගැනීමෙත් නිසි සැළකිල්ලකින් තොරව එම නිෂ්පාදන සිදු කිරීමත් නිසා මෙවැනි බෝතල්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇතිවී තිබෙන බවයි. සෞඛ්‍ය ආරක්ෂිත ජලය පානය සඳහා පාරිභෝගිකයන්ට ඇති අයිතිය තහවුරු කිරීම සදහා මේ තීරණය ගෙන ඇති බවත් එම නීතිය කඩකරන නිෂ්පාදන සමාගම් හා ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්ක කරන බවත් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *