ජපානය සමඟ ද්වීපාර්ශ්වීය නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සුදුසු තත්වයේ පවතින බැව්ද, එහිලා ශ්‍රී ලංකාවේ ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති වල යම් යම් අංශ තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් බවද, ජපාන ආර්ථික, වෙළඳ හා කර්මාන්ත කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය, කාසුයෝෂි අකාබා මහතා (Hon.Kazuyoshi Akaba) පැවසීය.
 ජපන් – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වීය වෙළඳ සාකච්ඡා අතරතුර, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා කළ යෝජනාවකට පිළිතුරු වශයෙන් ජපන් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බැව් පැවසීය. මෙම සාකච්ඡාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී අද (28දා) පස්වරුවේ පැවැත්විණි.
japan Delegation 03
අමාත්‍ය, බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසට, ජපානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, අද්මිරාල්, වසන්ත කරන්නාගොඩ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්, අනුර සිරිවර්ධන, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආර්.ඩී.එස්.කුමාරරත්න ඇතුඵ පිරිසක් සහභාගී වූහ. සය දෙනෙකුගෙන් යුත් ජපන් දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ, ජපාන ආර්ථික, වෙළඳ හා කර්මාන්ත කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය, කාසුයෝෂි අකාබා මහතාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, 2013 වසරේදී ශ්‍රී ලංකාව හා ජපානය අතර වූ ද්වීපාර්ශ්වික වෙළඳ අගය ඩොලර් මිලියන 894 ක් වුණා. එම වසරේ ශ්‍රී ලංකාව ජපානය වෙත සිදුකළ අපනයන වල 4% ක වර්ධනයක්ද පෙන්වනු ලැබීම මෙහි විශේෂත්වයක්. ශ්‍රී ලංකාව මේ වන විටත් ඉන්දියාව හා පකිස්ථානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් පවත්වාගෙන යනවා. එමෙන්ම චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කොට තිබෙනවා.
 japan Delegation 02
ජපානය හා ශ්‍රී ලංකා අතර වෙළඳාම සැලකිය යුතු ලෙසින් වර්ධනය කිරීමට අප විශේෂයෙන් උනන්දු වෙනවා. එමෙන්ම අප දෙරට අතර ඉතා කිට්ටු, දීර්ඝ කාලීන වෙළඳ සබඳතා පවතිනවා. මේ හේතුවෙන් අප දෙරට අතර ද්වීපාර්ශ්වීය නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට දැන් කාලය එළඹ ඇතැයි මා විශ්වාස කරනවා. ඒ වගේම ජපාන දූත පිරිස් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව දෙසට නැඹුරු කිරීමට කටයුතු කරන මෙන්ද, ඇඟලුම්, පිඟන් භාණ්ඩ, සම්භාණ්ඩ හා සංචාරක අංශයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ තම කර්මාන්ත ආරම්භ කරන ලෙසද ජපන් ආයෝජකයන්ට මා ආරාධනා කරනවා.
මීට පිළිතුරු ලබාදුන් ජපාන ආර්ථික, වෙළඳ හා කර්මාන්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආයෝජන අවදානම් මට්ටම හා අනාගත ආර්ථික අවස්ථා දෙස බලන කල ශ්‍රී ලංකාව ධනාත්මක ප්‍රගතියක් අත්කර ගෙන ඇතැයි පැවසීය. ද්වීපාර්ශ්වීය වෙළඳාම ප්‍රවර්ධනයේලා නිදහස් වෙළඳ ගිවිසුම් කදිම මෙවලමක් බවද කාසුයෝෂි මහතා සඳහන් කළේය. එමෙන්ම ජපානය සමඟ ද්වීපාර්ශ්වීය නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සුදුසු තත්වයේ පවතින බැව්ද, එහිලා ශ්‍රී ලංකාවේ ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති වල යම් යම් අංශ තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් බවද හෙතෙම අවධාරණය කරන ලදී.
 japan Delegation 04
ඉන්දීය සාගර කලාපයේ වෙළඳාම ගැන සැලකීමේදී, ශ්‍රී ලංකාව පිළිබද තම රට විශේෂ අවධානයකින් කටයුතු කරන බවද, ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආයෝජන පරිසරය තමා සිතුවාටත් වඩා හොඳ මට්ටමේ පවතින්නේ යැයිද ජපාන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ හේතුවෙන් ජපාන ආයෝජකයන්ට මධ්‍ය කාලීන හා දිඟු කාලීන ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාව තුළ දක්නට ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *