ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම ශක්තිමත් කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍රයට අදාල ප්‍රවර්ධනමය ශක්‍යතා ව්‍යාපෘතියක් සිදුකිරීමට යුරෝපා සංගමය කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතිය, ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (Geneva’s International Trade Centre ITC), ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය හා ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකෙරේ. මෙම ශක්‍යතා ව්‍යාපෘතිය වෙනුවෙන් යුරෝපා සංගමය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනු ලබන අතර, පළමු අදියරේදී ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 09 කි.
 
ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජිනීවාහි අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් කලාපීය නායක, ෂුවේ ජුන් ජියෑං මහතා (Xue jun Jiang) ඊයේ (21 දා) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වූ අතර, මෙම සාකච්ඡාව, කොළඔ 02, නවම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
ෂුවේ ජුන් මහතා මෙහිදී පවසා සිටියේ, පසුගිය වසරේදී බ්‍රසල්ස් නුවරදී පැවති ශ්‍රී ලංකා-යුරෝපා සංගම් නියෝජිත හමුවේදී මෙරට ජාත්‍යන්තර වෙළඳාමේ රාමුව ශක්තිමත් කිරීමට සහාය වන ලෙස ශ්‍රී ලංකා නියෝජිත පිරිස කළ ඉල්ලීම අනුව තම ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම මේ සඳහා යුරෝපා සංගමය මූල්‍යධාර ලබාදෙන බවත්, එහි පළමු පියවර ලෙස ඇ.ඩො.මිලියන 09 ක් ලබාදී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. වාණිජ මණ්ඩල ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ සියළුම කොටස්කරුවන් මෙම ව්‍යාපෘතියට දායක කරගන්නා බව පැවසූ ෂුවේ ජුන් මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රි ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව මෙහි ප්‍රධාන සම්බන්ධීකාරකයා ලෙස ක්‍රියාකරන අතර, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) තම විශේෂඥ දැනුම ව්‍යාපෘතිය සඳහා ලබාදෙන බවයි.
 21JAN1
දූත පිරිස ඇමතූ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේ, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට පමණක් නොව, අංශ රැසක දියුණුව සඳහා දායකත්වය ලබාදී ඇති බවයි. එමෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් නව රජයේ ආර්ථික වැඩපිළිවෙල ශක්තිමක් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මනා ලෙස ගැලපෙන බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම ඉතා කෙටි කලක් තුළ ව්‍යාපෘතියේ මූලික අධ්‍යයන කටයුතු නිමකොට, දෙවන අදියරට ලඟාවී සිටීම සතුටට කරුණක් බවද බදියුදීන් මහතා පැවසීය.
යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන මිළදී ගන්නා ලොව විශාලතම ගැණුම්කරුවා වේ. 2014 වසරේ සමස්ථ අපනයනයන්ගෙන් 32% ක් පමණ යුරෝපා සංගමය විසින් මිළදී ගෙන ඇති අතර, මෙරට නිෂ්පාදන වෙනුවෙන් GSP බදු සහනයද ලබාදෙනු ලබයි. 2013 වසරේදී ශ්‍රී ලංකා – යුරෝපා ද්වීපාර්ශ්වික වෙළඳ අගය ඇමරිකානු ඩොලර් බිලියන 4.9 ක් වූ අතර, සිදුකෙරෙමින් පවතින නව ශක්‍යතා අධ්‍යනයෙන් පසු දෙරට අතර වෙළඳ ගණුදෙනු තවදුරටත් ශක්තිමත් වීමට එය රුකුලක් වනු ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විශ්වාසය පළකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *