ලෝකයේ දස වැනි විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව, ඉතාමත් තුළනාත්මක වෙළඳ සබඳතා පවත්වන්නේ ශ්‍රී ලංකාව සමඟ බැව් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්, වයි.කේ.සින්හා මහතා (Hon. Y.K.Sinha) පැවසීය.
 ඉන්දියානු මහකොමසාරිස් වරයා මේ බැව් පැවසුවේ පසුගිය 14 වැනිදා ආරම්භ වූ, ශ්‍රී ලංකා ප්ලාස්ට් (SRI LANKA PLAST), රබෙක්ස්පෝ 2014 (RUBEXPO) සහ සිමෙක්ස් (SIMEX) ප්‍රදර්ශනත්‍රිත්වයවිවෘත කිරීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.
 කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේද, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ රබර් පර්යේෂණ ආයතනය හා ඉන්දියාවේ ප්ලාස්ටික් හා ඉංජිනේරු තාක්ෂණ ආයතනයේද දායකත්වය ඇතිව, ඉන්දියාවේ එන්ටප්‍රයිසින් ෆෙයාර්ස් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ සම සංවිධායකත්වයෙන් මෙය පැවැත්විණි. ප්‍රදර්ශනය, අගෝස්තු 14 සිට 16 දක්වා,
කොළඔ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
 Plast 01
මෙහිදී අදහස් දැක්වූ, ඉන්දියානු මහකොමසාරිස්, සින්හා මහතා, මෙම ප්‍රදර්ශනය සඳහා සමාගම් 100 කට වඩා සහභාගී වීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විවිධාංගීකරණය හා නැවත පිබිදිම මනාව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව දීර්ඝ කාලයක සිට ශක්තිමත් ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වන දෙරටක්. වසර 14 ක් පුරා අප දෙරට අතර ක්‍රියාත්මක නිදහස් වෙළඳ ගිවිසුම මගින් එය සනාථ වෙනවා. ඉන්දියාව ඉතාමත් තුළනාත්මක වෙළඳ සබඳතා ශ්‍රී ලංකාව සමඟ පවත්වන බව මාගේ විශ්වාසයයි. ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආනයනික රට වනවා සේම, ඇමරිකාව හා යුරෝපා සංගමයට පසු ලංකාවට ඇති 3 වැනි විශාලතම අපනයන වෙළඳ පොළයි. මෑත යුගය දෙස බලන විට, අපගේ ද්වීපාර්ශ්වික ආයෝජන වලද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙනවා. දෙරට අතර පවතින පුඵල් ආර්ථික සහයෝගීතාවය හේතුවෙන් අපගේ වෙළඳ සබඳතා මීලඟ අදියරට රැඟෙන යාම සඳහා අප සාකච්ඡා පවත්වමින් සිටිනවා. මෙම  ප්‍රදර්ශන ත්‍රිත්වය, දෙරටේ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමක් කිරීමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා.  
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, රබර් හා ප්ලාස්ටික් අංශ අපගේ දෛනික ජීවිත වලටත්, රටේ දළ ජාතික නිෂ්පාදනයටත් බෙහෙවිත් බලපාන නිෂ්පාදන ක්ෂේත්‍ර දෙකක්. 2013 දී ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් අපනයනය ඇ.ඩො. මිලියන 71.6 ක් ලෙස වාර්තා වුණා. ඒ වගේම එම වසරේදී රබර් භාණ්ඩ අපනයනය ඇ.ඩො.මිලියන 887 ක්. මෙය 2012 වසරේ ඉපැයීම් වන ඇ.ඩො.මිලියන 856 හා සැසඳීමේදී 4% ක වැඩිවීමක්. 2012 වර්ෂයේදී වාර්තාවූ ප්ලාස්ටික් භාණ්ඩ අපනයන ආදායම වන, ඇ.ඩො.මිලියන 57 සැලකීමේදී එය 2013 දී  5% කින් වර්ධනයක් වී තිබුණා. අපගේ රබර් භාණ්ඩ අපනයනය සඳහා අගය එකතුකිරීම් කළ යුතු බව මම තරයේ අවධාරණය කරනවා. මෙම කර්මාන්ත ක්ෂේත්‍රයන් දෙකම ශක්තිමත් කර්මාන්ත බවට පත් කළ යුතුයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බලාපොරොත්තුව වන, දළ ජාතික නිෂ්පාදයේ 2014 වසරේ අපේක්ෂා කරන 7.8% ක් වන ඉලක්කය සාක්ෂාත් කරගැනීමට මෙම වැඩසටහන් හරහා  දිරිමත් බවක් ඇති කළ යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ ඩී.එස්.අයි. සමුහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ, කුලතුංග රාජපක්ෂ මහතා කියා සිටියේ, සිය ආයතනය ඉන්දියාවට සැලකිය යුතු රබර් නිෂ්පාදන ප්‍රමාණයක් හා පාවහන් අපනයනය කරන බවත්, මෙවැනි ප්‍රදර්ශන තුලින් ඉන්දියානු වෙළඳ පොළ ජය ගැනීමට රුකුලක් ලැබෙන බවත්ය. එමෙන්ම නව දිල්ලියේ සිට චෙන්නායි වලට භාණ්ඩ ප්‍රවාහන වියදම් සැලකීමේදී එය, කොළඔ සිට චෙන්නායි දක්වා වන වියදමට වඩා වැඩි බවත්, තීරු බදු නොවන ගාස්තු ඒ සඳහා බලපා ඇති බැවින් ඒවා ලිහිල් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.
 Plast 03
ප්‍රදර්ශනයට එක්වූ ඉන්දීය සමාගම් කළමණාකර අධ්‍යක්ෂවරයෙකු වන, බී.ස්වාමිනාදන් මහතා කියා සිටියේ, මෙම ප්‍රදර්ශනය නව ව්‍යාපාරික අවස්ථාවන් බිහි කරලීමටත්, එතුලින් දෙරටේම අපනයන වෙළඳ පොළ පුඵල් කිරීමටත් උපකාරී වී ඇති බවයි. එමෙන්ම වසර 2020 දී ශ්‍රී ලංකාවේ සපුරා ගැනීමට බලාපොරොත්තු වන ආර්ථික ඉලක්ක ජයගැනීමට මෙය ඉහවල් වනු ඇතැයිද ස්වාමිනාදන් මහතා විශ්වාසය පළ කළේය.
ප්‍රදර්ශනය, ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර, සෞදි අරාබිය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, චීනය, තායිවානය, ජපානය, ඉතාලිය, පිලිපීනය හා මලයාසියාව ඇතුඵ රටවල් 15 කට අයත් සමාගම් 160 ක් මේ සඳහා එක්ව සිටියහ. ක්ෂේත්‍රයට අදාල භාණ්ඩ හා උපකරණ, තාක්ෂණය හා යන්ත්‍රසූත්‍ර ප්‍රදර්ශනය කිරීම මෙන්ම නව ව්‍යවසායන්ට අදාල තොරතුරු හා උපදේශන සේවා ලබාදීමද මෙයට ඇතුලත්ව තිබිණි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්, අනුර සිරිවර්ධන, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, නවාස් රජාබ්දීන් යන මහත්වරුද, දේශිය විදේශිය ප්‍රදර්ශකයන්, කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
Plast 04

Leave a Reply

Your email address will not be published. Required fields are marked *