වෙනස් වන ලෝකයේ පාරිභෝගික ආරක්ෂාවට අවශ්‍ය මාර්ගෝපදේශන පිළිපදිමින්, අපත් ජාත්‍යන්තර පාරිභෝගික ප්‍රජාවේ ප්‍රමිතීන් ඇති කර ගැනීමට පියවර ගත යුතු බවත්, ඒ සඳහා ශ්‍රි ලංකාවේ පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි පුළුල්ව සමාලෝචනය කළ යුතු බවත්, එකී කාර්යභාර්ය ඉටු කිරීමට මෙම සමුළුව වැදගත් වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති පාරිභෝගික නියාමන කටයුතු වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වූ වැඩමුළුවේදීය. මෙම වැඩමුළුව ශ්‍රි ලංකා පාරිභෝගික කටයුතු අධිකාරිය හා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන ආයතනය එක්ව සංවිධානය කර තිබිණි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. ”පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය සුරක්ෂිත කිරීම සඳහා පවතින්නා වූ නෛතික රාමුව පිළිබඳව අප දැඩි ලෙස අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ අනුව නූතනයේ පවතින පාරිභෝගික ප්‍රවණතා හා දැවැන්ත වෙනස්කම් හි සංකීර්ණතාවන් හමුවේ සතුටුදායක වූ තත්ත්වයක් පෙනෙන්නට නැහැ. එම නිසා නව නියාමන ආයතනයන් මඟින් ක්‍රියාත්මක කරනු ලබන විවිධාකාර වු නියාමනයන් හි කාර්යභාර්ය ආශ්‍රිතව ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට පියවර ගත යුතු වෙනවා. ඒ වගේම මේ මඟින් අපේක්ෂා කරන සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ළඟා කර ගත හැකි ක්‍රමවේද පිළිබඳව ද අපගේ අවධානය යොමු කළ යුතු වෙනවා. මේ මඟින් අපගේ නිෂ්පාදන වල ගුණාත්මක බව මෙන්ම ප්‍රමිතිය ඉහළ නැංවීම තුළින් පාරිභෝගිකයන්ට වඩාත් යහපත් මෙන්ම ගුණාත්මක භාණ්ඩ ලබා දීමටත්, අපගේ අපනයන භාණ්ඩවල ගුණාත්මක බව ඉහළ නැංවීමෙන්, අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

මෙම සමුළුවට ශ්‍රි ලංකාවේ නියාමන අයතනයන් වන පාරිභෝගික කටයුතු අධිකාරිය, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රි ලංකා මහා බැංකුව, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රි ලංකා රක්ෂණ මණ්ඩලය, ජතික ඖෂධ නියාමන අධිකාරිය, ඇතුළු ආයතනවල නියෝජිතයන් ද සහභාගී විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *