අප්‍රිකානු මහද්වීපයේ රටවල් හා ශ්‍රී ලංකාව අතර නව ද්වීපාර්ශ්වීය වෙළඳ සබඳතා ඇරඹීමට සුදුසු කාලය පැමිණ ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
 අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, ශ්‍රී ලංකාවේ ඊජිප්තු ගරු තානාපති, මහහුද් හිෂාම් මොහොමඩ් අස්රාන් මහතා හා පැවති සාකච්ඡා වාරයකදීය. මෙම හමුව, අප්‍රිකා දිනය වෙනුවෙන් කොළඔදී පැවත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා මෑත කාලයේ අප්‍රිකානු මහද්වීපයට අයත් රටවල කළ සංචාරයන් හේතුවෙන් ශ්‍රී ලංකා-අප්‍රිකා වෙළඳ සබදතා නව මඟකට යොමුවීමට බලපා තිබෙනවා. මේ නිසා කෙන්යා, සී-ෂෙල්ස්, ටැන්සානියා හා උගන්ඩා රටවල් සමඟ ද්වීපාර්ශ්වික වෙළඳ සබඳතා ඇතිකර ගැනීමටත්, නව වෙළඳපොළවල් හා ආයෝජන අවස්ථා පුඵල් කර ගැනීමටත් අවස්ථාව හිමිවුණා. ඊජිප්තුවේ කයිරෝ අගනුවර හා අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ වෙළඳ තානාපති නිලධාරීන් ඉතා සක්‍රීයව ද්වීපාර්ශ්වීය ආයෝජන හා අපනයන ප්‍රවර්ධනයට කටයුතු කරමින් සිටිනවා.
 2013 වසරේදී ශ්‍රී ලංකාව හා අප්‍රිකා මහද්වීපය අතර වූ ද්වීපාර්ශික වෙළඳ අගය ඩොලර් මිලියන 322 ක් පමණයි. එය ශ්‍රී ලංකාව හා සෙසු රටවල් අතර ආනයන අපනයන අගය හා සැසඳීමේදී 1% ක් තරම් සුඵ ප්‍රමාණයක්. නමුත් ශ්‍රී ලංකාව හා අප්‍රිකා කලාපය තුළ පවත්නා වෙළඳ හා ආයෝජන ශක්‍යතාවයන් සැලකීමේදී  මීට වඩා ඉහළ අගයකට ගමන් කිරීමට හැකියාව පවතින බැව් කිව යුතුයි. එබැවින් ද්වීපාර්ශ්වික නව වෙළඳ සබඳතා ඇරඹීමට සුදුසු කාලය පැමිණ තිබෙනවා. අප්‍රිකානු නායකයන්ගේ මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේද ඇති උනන්දුව හා කැපවීම හේතුවෙන්, ශ්‍රී ලංකාව හා අප්‍රිකානු රටවල් අතර වෙළඳ සබඳතා තර කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍ය බදියුදීන්  මහතා මෙහිදී විශ්වාසය කළ කළේය.
 affrica 02
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති, මහහුද් හිෂාම් මොහොමඩ් අස්රාන් මහතා මෙහිදී පැවසුවේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් හා තේ ලොව පුරා කීර්තියක් අත්කර ගෙන ඇති බවයි. තවද, අප්‍රිකානු ආයෝජකයන් ඇඟලුම් හා තේ කර්මාන්තයේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බවද ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ආයෝජකයන් සඳහා අප්‍රිකා කලාපය තුළද බොහෝ ආයෝජන හා අපනයන අවස්ථා ඇතිබවද මොහොමඩ් අස්රාන් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා-අප්‍රිකා ‍‍‍ඓතිහාසික ද්වීපාර්ශ්වික සබඳතා මේ ආකාරයෙන් වැඩිදියුණු වීම පිළිබඳ දෙරටටම සතුටු විය හැකි බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ සමාගම් 13 ක් විසින් ඩොලර් මිලියන 30 ට අධික ආයෝජන අප්‍රිකාවේ විවිධ රටවල ස්ථාපිත කර ඇති අතර අප්‍රිකානු රටවලින් මෙරට සිදුකර ඇති ආයෝජන ඉතා අවම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *