කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්නා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සියඵ සේවාවන් මාර්ගගතව (Online) සිදුකිරීමට හැකිවන පරිදි එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වැඩිදියුණු කෙරේ. මේ යටතේ අදාල සේවා අභිමුඛ මෘදුකාංග හා දෘඩාංග සැකසීම (Software & Hardware Development) හා  www.drc.gov.lk වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සිදුකෙරේ.

 

මීට අදාල සේවා ගිවිසුම් අත්සන් කිරීම, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රදානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ (21) සිදුකෙරිණි. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි රෙජිස්ටාර් ජනරාල්, නීතීඥ ඩී.එන්.ආර්.සිරිවර්ධන මහතාද, ඊස්ට්-වෙස්ට් ඉන්ෆොමේෂන් සිස්ටම් සමාගමේ අධ්‍යක්ෂිකා, රොසේන් විජයනායක මහත්මියද ගිවිසුමට අත්සත් තබන ලදී.

 

මෙම ව්‍යාපෘතියේ සමස්ථ පිරිවැය මිලියන 163 ක් වන අතර, මාස නවයක් (09) තුළ අදාල ව්‍යාපෘතිය නිමකිරීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. අන්තර්ජාල මාර්ගගත සමාගම් ලියාපදිංචි කිරීමේ කමවේදය (Web based Company Registration) යටතේ නව සමාගමක් ලියාපදිංචි කිරීම, සමාගම් නාම ලියාපදිංචිය, ඒ ඒ සේවාවන්ට අදාල ලියාපදිංචි සහතික නිකුත් කිරීම, අන්තර්ජාල හරහා ගෙවීම් සිදුකිරීම, ලියාපදිංචිය අලුත් කිරීම හා විවිධ පෝරම හා අයදුම්පත් බාගත කිරීම (Downloading) ඇතුඵ සේවා රැසක් ස්වයංක්‍රීයව කරගැනීමේ හැකියාව ව්‍යාපාරිකයන්ට හිමිවේ. දැනට පවත්නා සාමාන්‍ය කාර්යාලීය කමවේදය යටතේ නව සමාගමක් ලියාපදිංචියට අවම වශයෙන් දින හතක් ගතවන අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමත් සමග එක් දිනක් තුළ එය සිදුකර ගත හැකි වනු ඇත.

 

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, අතිගරු ජනාධිපතිතුමාගේ ඊ-රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කරගැනීම උදෙසා මෙම වැඩපිළිවෙල කියාවට නැංවූ බවත්, මෙමගින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සේවාවන් ලබාදීමට හැකියාව ලැබෙන බවත් පැවසීය. තවද මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිමකරන ලෙසද අමාත්‍යවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදුන්නේය.

 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අනුර සිරිවර්ධන ඇතුඵ අමාත්‍යාංශයේ නිලධාරින්ද, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *