ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදනය දිරිගන්වන අතරම, ලෝක කෘතීම රබර් ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මෙරට පොලිමර් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරලීමට යෝජනා කරන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, මේ මස 27 සිට 30 දක්වා කොළඔ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන, 4 වන ගෝලීය රබර් සමුඵව (Global Rubber Conference – GRC) අමතමිනි. මෙම සමුළුව ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ජාත්‍යන්තර රබර් ක්ෂේත්‍රයේ නිපැයුම්කරුවන්, ආයෝජකයන්, උපදේශකයන්, නායකයන් හා විශේෂඥයන්ගෙන් සමන්විත රටවල් 28 ක් නියෝජනය කරමින් 250 කට අධික පිරිසක් මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. රබර් කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් මුහුණ දෙන අභියෝග සඳහා සාමූහික පිළියම් සෙවීම, ක්ෂේත්‍රයට අදාල නව වෙළඳපොළ හා මංපෙත් පිළිබඳ සොයා බැලීම මෙම සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අභිලාෂයයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, මලයාසියාවේ ජාත්‍යන්තර උත්සව සංවිධාන ආයතනයක් වන කොන්ෆෙක්ස් හබ් ආයතනය සමඟ එක්ව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුඵව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.
 grc 02
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, 2009 වසරේ සිට මේ දක්වා රබර් නිෂ්පාදනය සැලකිල්ලට ගැනීමේදී මෙම කර්මාන්තයේ ධාරිතාවය දෙගුණයක් වී තිබෙනවා. 2013 වසරේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 960 ක් වුණා. එමෙන්ම 2020 වන විට ශ්‍රී ලංකාවේ රබර් අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් දක්වා ප්‍රවර්ධනය කිරීම අපේ රජයේ ඉලක්කයයි.
 
දැනට ශ්‍රී ලංකාව ස්වාභාවික රබර් නිෂ්පාදන අංශයෙන් ලොව සුවිශේෂී ස්ථානයක සිටිනවා. එම ක්ෂේත්‍රය නැංවීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ වාගේම ලෝකයේ කෘතීම රබර් ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ශ්‍රි ලංකාව පොලිමර් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමට මම යෝජනා කරනවා.
 
ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද, එතුමන්ගේ 10 වැනි අයවැය මගින් රබර් සඳහා සහතික මිළක් ලබාදීම සඳහාත්, රබර් අපනයන සඳහා නව බද්දක් හඳුන්වාදීමත් සිදුකරනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ දියුණුවට හේතුවන බැව් අපගේ විශ්වාසයයි. ඒ වෙනුවෙන් අපගේ ප්‍රශංසාව හිමිවිය යුතුයි.
 
රබර් කර්මාන්තයේ නිරත සැමට ලබාදිය යුතු සුභ පණිවුඩ දෙකක් මා සතුව තිබෙනවා. ඉන් පළමුවැන්න වන්නේ ජාත්‍යන්තර වෙළඳ පොළේ රබර් මිළ 2015 දක්වා නොවෙනස් මට්ටමක පවතිනු ඇති බවයි. දෙවැන්න වන්නේ 2017 න් පසු ජාත්‍යන්තර වෙළඳ පොළේ රබර් කිලෝ ග්‍රෑම් එකක ගැණුම් මිළ ඇමරිකානු ඩොලර් 03 ක් හෝ ඊට වැඩි විය හැකි බවට අනාවරණය වී තිබීමයි. අද වන විට, ශ්‍රී ලංකාවේ රබර් කිලෝ ග්‍රෑම් 01 ක නිෂ්පාදන වියදම ඩොලර් 1.15 ක් තරම් අඩු මට්ටමේ පවතිනවා. ඒ වගේම අපේ රබර් වැවිලි ක්ෂේත්‍රය තුළ හෙක්ටාරයකට කිලෝ ග්‍රෑම් 1247 ක අස්වැන්නක් ලබාගන්නවා.
 grc 03
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ මහතා, අප මණ්ඩලය විසින් මෙම ජාත්‍යන්තර සම්මේලනයට මුල පුරා තිබෙනවා. ගරු ජනාධිපතිතුමන්ගේ අභිලාෂය වන්නේ, සාම්ප්‍රදායික නොවන මෙන්ම නව භාණ්ඩ වශයෙන් අපනයන ක්ෂේත්‍රයේ විවිධාංගීකරණයක් ඇති කිරීමයි. රබර් කර්මාන්තය මෙම අරමුණ වෙනුවෙන් යොදාගත හැකි ඉතා හොඳ ක්ෂේත්‍රයක්. ඒ වෙනුවෙන් වන හොඳම උදාහරණය වන්නේ මේ වන විට ශ්‍රි ලංකාව ලෝකයේ ටයර් අපනයනයෙහි ලබා ඇති ඉහළම තත්වයයි.
මෙහිදී අදහස් දැක්වූ, ලෝක බැංකුවේ වොෂින්ටන් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ, ජෝන් බැෆේස් මහතා කියා සිටියේ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යෝජනා කළ ශ්‍රී ලංකාව පොලිමර් කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාව අතිශය කාලෝචිත එකක් බවයි. එමෙන්ම ක්ෂේත්‍රයට අදාලව ශ්‍රී ලංකාව තුළ පවත්නා ධාරිතාවය හා නිපුණතාවය සැලකිල්ලට ගැනීමේදී මෙම යෝජනාව පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බවටද ඒ මහතා විශ්වාසය පළකළේය. පොලිමර් කේන්ද්‍රස්ථානයක් ඇති කිරීමෙන් දේශීය රබර් ආශ්‍රිත අගය එක්කළ භාණ්ඩ නිෂ්පාදනය කිරීම වැඩි කළ හැකි බවද එමගින් ශ්‍රී ලංකාවේ රබර් සඳහා වැඩි වාණිජ වටිනාකමක් ලබාගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මැලේසියාවේ කොන්ෆෙක්ස් හබ් ආයතනයේ සභාපති, ආචාර්ය අබ්දුල් අසීස්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අනුර සිරිවර්ධන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
grc 04
(ඡායාරූප – සේනක කුරුප්පු, මාධ්‍ය ඒකකය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *