2020 වන විට ඇගලුම් නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛ රටවල් දහය අතරට පැමිණීම රජයේ අපේක්ෂාව බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

 

ඒ මහතා මේ බැව් පැවසුවේ ලෝපතල ජුකී කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරනු ලබන ඇගලුම් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උළෙල ඊයේ (06) පෙරවරැවේ, කොළඔ, තාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, “ජුකී කෝපරේෂන් ආයතනය දකුණු ආසියාව තුළ ස්ථාපිත කරනු ලබන දෙවන පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට කටයුතු කිරීම පිළිබදව එම ආයතනයට මාගේ ප්‍රශංසාව පුද කිරීමට කැමතියි. ජුකී ආයතනය හරහා ඇගලුම් ක්ෂේත්‍රයට අදාල ලොව නවීනතම තාක්ෂණය ශ්‍රී ලංකාවට පැමිණීම මෙම ක්ෂේත්‍රෙය් කර්මාන්ත කරුවන්ට සතුටුදායක පණිවුඩයක් වේවි.

 

ශ්‍රී ලංකාවේ ඇගලුම් නිෂ්පාදන මේ වන විට ලොව පිළිගත් හා අංක එකේ තත්වයට පත්ව තිබෙනවා. එමෙන්ම මෙම ක්ෂේත්‍රය අද ඉතාමත් ශක්තිමත් තත්වයට පත්ව තිබෙනවා. 2013 වසරේ ඇගලුම් අංශයෙන් ශ්‍රී ලංකාව ඉපැයූ මුඵ විදේශ විනිමය වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක්. මෙය ඓතිහාසික වාර්තාවක්. තවද 2016 වන විට එම ආදායම ඇ.ඩො. බිලියන 10 ක් දක්වා වර්ධනය කර ගැනීම අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කයයි. තවද 2020 වන විට ඇගලුම් නිෂ්පාදනය කරන ප්‍රමුඛ රටවල් 10 අතරට පැමිණීම අප රජයේ ප්‍රමුඛ අපේක්ෂාව වෙනවා.

 

විලාසිතා ක්ෂේත්‍රයේ සුප්‍රකට බහුජාතික සමාගමක් වශයෙන් PVH කෝපරේෂන් සමාගමේ සහභාගීත්වය ඇතිව පළමු වතාවට G4 නිෂ්පාදිත මට්ටමට ළගාවී තිබෙනවා. අප බලාපොරොත්තු වෙනවා. එම අරමුණු ජය ගැනීමට ජුකී කෝපරේෂන් ආයතනය අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරාවී යැයි මා විශ්වාස කරනවා. එමෙන්ම ජුකී ආයතනය ලබාදෙන තාක්ෂණික සහයෝගය මා අගය කරනවා. ශ්‍රී ලංකාවේ ඇගලුම් ඉතිහාසය තුළ ජුකී ආයතනය අපට කිසිවිට අමුත්තෙක් නොවේ. ඔවුන් මෙම ක්ෂේත්‍රය තුළ ඉතා සතුටුදායක භූමිකාවක් ඉටුකර තිබෙනවා.”  

ශ්‍රී ලංකාවේ ඇගලුම් ක්ෂේත්‍රය තුළ ජුකී මැෂින් 750,000 ක් පමණ භාවිතා කරන බැව් සදහන් කළ අමාත්‍යවරයා, මෙරට කාර්මික මට්ටමේ අධිවේගී මහන යන්ත්‍ර වලින් 50% ක් පමණ ජුකී යන්ත්‍ර වීම විශේෂ සිදුවීමක් බැව් පැවසීය.

ජුකී කෝපරේෂන් ආයතනයේ ආසියානු කලාපය පිළිබද නියෝජ්‍ය විධායක සභාපති, සයිටෝ නොරියාකි මහතාද සභාව ඇමතූ අතර, කර්මාත්ක හා වාණිජ අමාත්‍යාංශ නිලධාරීන්ද, ජුකී කෝපරේෂන් ආයතනයේ නිලධාරීන්ද, පුහුණු ලාභීන්ද ඇතුඵ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *