පසුගිය වසර තුළ දේශීය පාවහන් හා සම්භාණ්ඩ අපනයන 63% කින් වර්ධනය වී ඇති බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ අදහස් පළකළේ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සමග එක්ව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සය (06) වන වරටත් සංවිධානය කරනු ලබන “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2014” හි සමාරම්භක උළෙල අමතමිනි.

 

මෙම ප්‍රදර්ශනය, ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි.

foot launch 04

ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයට ජාතික හා අන්තර්ජාතික පිළිගැනීමක් ලබාදීමේ අරමුණින් යුතුව සංවිධානය කරනු ලබන මෙම ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනය සදහා දේශීය නිෂ්පාදක සමාගම් 202 ක්ද, විදේශීය අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ සැපයුම්කරුවන් 23 ක්ද ඇතුළත්ව ප්‍රදර්ශන කුටි 225 ක් ඇතුලත්ව ඇති අතර, රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස්, තානාපතිවරුන්, විදේශීය ගැණුම්කරුවන් රැසක්ද සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, “මෑත ඉතිහාසය තුළ පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ සීග්‍ර වර්ධනයක් දක්නට පිළිවන්. එම ශක්තිමත් වර්ධනය හේතුවෙන් 2013 වර්ෂය වන විට පාවහන් හා සම්භාණ්ඩ අපනයනයන්ගෙන් රටට හිමිවී ඇති විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියන පනස් එකක් (51). 2012 වසරේදී එම අංශයෙන් අප උපයා තිබුණේ ඩොලර් මිලියන 30 ක් පමණයි. ඒ අනුව පසුගිය වසරක වැනි කාලයක් තුළ පාවහන් හා සම්භාණ්ඩ අපනයන වල අප ලබා ඇති ප්‍රගතිය 63% ක්.

 foot launch 01

තවද පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයට අමුද්‍රව්‍ය සපයන්නාවූ ගව සම්පත පසුගිය දස වසර තුළ 19% කින් වර්ධනය වී තිබෙනවා. එබැවින් අමුද්‍රව්‍ය සැපයීම ශක්තිමත් වෙලා. එහෙත් ශ්‍රී ලංකාව නිපදවන උසස් තත්වයේ පාවහන් සදහා ඇති ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ යාම නිසා, එම වැඩිවන අවශ්‍යතාවයට සරිලන භාණ්ඩ නිෂ්පාදනයට අතිරේක අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් අප පහසුවෙන් ලබාගන්නවා. මෙම සම්භාණ්ඩ කර්මාන්තයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සමීපව කටයුතු කිරීම අප දෙරට අතර පවතින යහපත් වෙළද සහයෝගීතාවය පිළිබිඹු කරන හොද උදාහරණයක්.

මෙම පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය ප්‍රදර්ශනය සදහා සහභාගී වූ ඉන්දියාව, චීනය, ඊජිප්තුව, ප්‍රංශය, කොරියාව, පලස්තීනය, කෙන්යාව, ජර්මනිය, ඉරානය, සී ෂෙල්ස් යන රටවල රාජ්‍යතාන්ත්‍රික හා වෙළද දූත පිරිස් වලටද, කර්මාන්ත කරුවන්, ගැණුම්කරුවන්ටද සිය ස්තූතිය පිරිණැමූ අමාත්‍යවරයා, පාවහන් හා සම්භාණ්ඩ අපනයනකරුවන්ටද, මෙම කර්මාන්තයේ නියැලෙන 40,000 ක්වූ ශ්‍රම බලකායටද තම ප්‍රණාමය පුදකරන බැව් වැඩිදුරටත් පැවසීය.

foot launch 03

මෙම අවස්ථාව ඇමතූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ මහතා පැවසුවේ, වෙළද පොළ අවශ්‍යතාවය සදහා භාණ්ඩ සැපයුම් ක්ෂේත්‍රයක් ලෙස පසුගිය වකවානුවේ පැවති පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රය, දැන් ජාත්‍යන්තර විලාසිතා කර්මාන්තයට නිෂ්පාදන යොමුකරන අගය එකතු කළ සැපයුම් මූලාශ්‍රයක් (Supply Chain) බවට පත්ව ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය නව අවදියකට පා තබා ඇති බවද ඒ මහතා පැවසීය.

2009 සිට රජය ඉදිරිපත් කළ සියඵම අයවැය වාර්තා වලින් මෙම ක්ෂේත්‍රයට ලබාදුන් විශාල සහන හා දිරිගැන්වීම් හේතුවෙන් පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ සීග්‍ර වර්ධනයක් ලබාගත් බැව්, පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ සංවිධායක කමිටු සභාපති, සිතේන්ද්‍ර සේනාරත්න මහතා පැවසීය. රජය ලබාදුන් මෙම සහන හේතුවෙන් මහා පරිමාණ කර්මාන්තකරුවන් පමණක් නොව සුඵ හා මධ්‍ය පරිමාණයේ නිෂ්පාදකයන්ද දිරිමත් වූ බවද, තීරුබදු හා සහන යටතේ ඉහළ තාක්ෂණයෙන් යුත් යන්ත්‍රසූත්‍ර තම කර්මාන්ත වලට ආදේශ කරගැනීමට එමගින් ඔවුන්ට හැකියාව ලැබුණු බැව්ද, මෙවන් දිරිගැන්වීම් පිළිබදව තුති පුදකරන බැව්ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව නවක නිර්මාණ ශිල්පීන් හදුන්වාදීමේ හා ඔවුන්ගේ කුසලතා අගය කිරීමේ අරමුණින් යුතුව පාවහන් හා සම්භාණ්ඩ මෝස්තර නිර්මාණ තරගයක්ද, ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන එළිදැක්වීම වෙනුවෙන් වන විලාසිතා දැක්මක්ද (08 දින) සංවිධානය කර ඇත. ප්‍රදර්ශනය 09 දා දක්වා දිනපතා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සාම්ප්‍රදායික කර්මාන්ත හා සුඵ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය, වීරකුමාර දිසානායක, අමාත්‍යාංශ ලේකම්වරුන් වන, අනුර සිරිවර්ධන, වී.සිවඥානසෝති, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති, නවාස් රජාබ්දීන්, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති, පී.ජී.නිමලසිරි, අපනයන සංවර්ධන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක, යූස්ෆ් කේ.මරික්කාර් යන මහත්වරුන්ද, එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සුජාතා වීරකොන් මහත්මියද, ප්‍රදර්ශකයන්, ගැණුම්කරුවන් ඇතුඵ විශාල පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *