උතුරේ ගොවීන් තවදුරටත් තම වී අස්වැන්න කළු කඩ මුදලාලිලාට විකුණන්න අවශ්‍ය නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මන්නාරමේ දී අද (26) කීවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම නානාට්ටාන් හි සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කළ හැකි වී ගබඩාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ග්‍රාමීය සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් ලෙස ඉදිකරන ලද මෙම වී ගබඩාව සඳහා රජය රුපියල් කෝටි 26ක මුදලක් වියදම් කර තිබිණි.  මුදල් ඇමති රවී කරුණානායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බදුයිදීන් අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

‘‘ මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, යාපනය ඇතුළු උතුරේ ජනතාව වැඩි පිරිසක් ජීවත් වන්නේ වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයෙන්. ඔවුන් අවුරුදු 30ක් පමණ යුද්ධයකින් පීඩා වින්දා. මා ඇතුළු මන්නාරමේ ජනතාව විශාල පිරිසකට තමන්ගේ වගා බිම් විතරක් නෙවෙයි උන් හිටි තැන් පවා අහිමිවුණා. අපිට ඉතිරිවුණේ ඇඳිවත විතරයි. මේ ප්‍රදේශයේ ජනතාව දිවා රෑ මහන්සිවෙලා වගා කරනවා. වී ගොවිතැන් කරන අය අස්වැන්න නෙලා ඒ අස්වැන්න ගබඩා කරගන්න තැනක් නැති නිසා පුද්ගලික මුදලාලිලාට විකුණනවා. රජයේ සහතික මිලක් තිබුණත් රජයටත් මේ ප්‍රදේශවල වී මිලදී ගෙන ගබඩා කරන්න තැනක් නැහැ. ප්‍රතිඵලය වෙන්නේ පුද්ගලික ගැනුම් කරුවන් කුණු කොල්ලයට වී අරගෙන යනවා. අපි රජයක් ලෙස මේ ගොවීන් ගැන කල්පනා කළා. ඒ නිසා තමයි අපිට අද මේ වගේ විශාල වී ගබඩාක් මන්නාරමට ලබා දෙන්න පුළුවන් වුණේ. මේ තමයි උතුර වෙනුවෙන් රජය ඉදිකළ පළමු වී ගබඩාව. දැන් මේ නිසා වී ගොවීන්ට තමන්ගේ වීටික වී අලෙවි මණ්ඩලයට ගෙනවිත් දී මේ ගබඩාවට විකුණන්න හැකියාව ලැබෙනවා. මෙය ලොකු ජයග්‍රහණයක්. මුදල් ඇමති රවී කරුණානායක මහතා මේ කාර්යයට විශාල මහන්සියක් ගත්තා. උදව් කළා. ඒ වගේ ම මේ ප්‍රදේශ දියුණු කරන්න අපි තවදුරටත් එතුමාගේ උදව් අපෙක්ෂා කරනවා. අද පොරොන්දු වුණා මන්නාරම නගරයට නවීන පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ බස් නැවතුම්පොළක් ලබා දෙනවා කියා. “

මෙහිදී අදහස් දැක්වූ රවී කරුණානායක ඇමතිවරයා මෙසේ කීවේය.

‘‘මට චෝදනා කරනවා හැමදාම බදු ගහනවා කියා. මේ බදු තියෙන්නේ ටික කාලයයි. ඒවා හැමදාම නෑ, ඉතා ඉක්මණින් අපි ජනතාවට අවශ්‍ය සහන ලබා දෙනවා. අපි රජය බාරගන්නා විට ආදායමට වඩා වියදම් වැඩිවෙලා තිබුණේ. නමුත් දැන් අපි පුණරාවර්ථන වියදම් ගෙවනවා. ආර්ථිකය සකස් වෙමින් තිබෙනවා. ඉතා ඉක්මණින් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා. ඒ අතර තමයි අපි මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට 10ක් වුවත් රටේ ජනතාවගෙන් සියයට 35ක් නිරත වෙලා ඉන්නේ කෘෂිකර්මාන්තයේ. මෙය ගැටලු සහගත තත්ත්වයක් ගොවීන්ට තමන් කරන මෙහෙවර වෙනුවෙන් ප්‍රමාණවත් ආදායමක් නැහැ. මේ තත්ත්වය අපි හඳුනාගෙන එය වළක්වාගත යුතුයි.

මේ වගේ වී ගබඩා 35ක් අපි රට පුරා ඉදිකරනවා. මෙයින් සෘජුව ම ගොවීන් දහස් ගණනක් සහ වක්‍රව තවත් පවුල් දහස් ගණනක් තම අතමිට සරුකර ගන්නවා. මන්නාරම කියන්නේ සියලු ජාතීන් ජීවත්වන ප්‍රදේශයක්. ජාතික සමගිය මෙහි මනාව පිළිබිඹු වෙනවා. අපි මේ වගේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙනුත් ජාතික සංහිදියාව අපේක්ෂා කරනවා.

රිෂාඩ් බදුයිදීන් ඇමතිතුමා නිතරම අපෙන් විවිධ දේ ඉල්ලනවා. මන්නාරමේ ජනතාව වෙනුවෙන් උතුරේ ජනතාව වෙනුවෙන් එතුමා නිතරම කතා කරනවා. සංවර්ධන යෝජනා ක්‍රමවලට මුදල් අවශ්‍ය බව කියනවා. අදත් දිසාපතිතුමා සමග මගෙන් බස් නැවතුම්පොළක් ඉල්ලා සිටියා. මම එතුමාට කියන්න කැමතියි අවශ්‍ය යෝජනාව සකස්කරලා දෙන්න. අපි සූදානම් මන්නාරමට නවීන පහසුකම් සහිත නව බස් නැවතුම්පොළක් ලබා දෙන්න. අපි සියලු ජාතීන් වෙනුවෙන් සියලු ජාතීන් සිටින ප්‍රදේශ සංවර්ධනය කරනවා. ජාතික සමගියෙන් රටේ සමබර සංවර්ධනයක් ඇති කරමින් සිටිනවා.

WhatsApp Image 2017-01-26 at 6.12.00 PM WhatsApp Image 2017-01-26 at 6.12.03 PM WhatsApp Image 2017-01-26 at 6.12.04 PM WhatsApp Image 2017-01-26 at 6.12.05 PM WhatsApp Image 2017-01-26 at 6.12.07 PM WhatsApp Image 2017-01-26 at 6.12.08 PM WhatsApp Image ි2017-01-26 at 6.12.00 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *