කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සමග එක්ව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සය (06) වන වරටත් පැවැත්වූ, “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2014” ප්‍රදර්ශනය ඊයේ (10) නිමාවට පත්වන විට රුපියල් මිලියන 3.6 ක  සමස්ථ ආදායමක් උපයා තිබූ අතර, රුපියල් මිලියන 500 ක සෘජු විදේශ ඇණවුම් සදහා විමසීම් ලබාගැනීමට සමත්ව තිබිණි.

 

මෙම තොරතුරු අනාවරණය වූයේ “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2014” ප්‍රදර්ශනයේ අවසන් දිනයේ (10) පැවති මෝස්තර නිර්මාණ තරගාවලියේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවයේදීය. මෙම උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන්, සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයට ජාතික හා අන්තර්ජාතික පිළිගැනීමක් ලබාදීමේ අරමුණින් යුතුව සංවිධානය කරනු ලැබූ මෙම ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනය සදහා දේශීය නිෂ්පාදක සමාගම් 202 ක්ද, විදේශීය අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ සැපයුම්කරුවන් 23 ක්ද ඇතුළත්ව ප්‍රදර්ශන කුටි 225 ක්ද සහභාගී වී සිටියහ.

design award 02

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, “මෙම ප්‍රදර්ශනය අති සාර්ථකව පැවැත්වීමට සහාය වූ සැමට මාගේ ප්‍රනාමය පුදකිරීමට කැමතියි. පසුගිය තෙදින තුළ ඉන්දියාව හා ඉතාලිය යන රටවලින් පමණක් ඇමරිකානු ඩොලර් 8,400 ක ඇණවුම් සදහා සාකච්ඡා අරඹා තිබෙනවා. එමෙන්ම දේශීය ගැණුම්කරුවන්ගෙන් ඇමරිකානු ඩොලර් 11,800 ක විමසීම් ලැබී තිබෙන අතර, එයින් ඩොලර් 8,800 ක ප්‍රමාණයක ඇණවුම් තහවුරු කොට තිබෙනවා. තෙදිනක් පුරා පැවති ප්‍රදර්ශනය නිමාවට පත්වන විට රුපියල් මිලියන 3.6 ක (ඇ.ඩොලර් 38,000 ක) සමස්ථ ආදායමක් උපයා තිබෙන අතර, රුපියල් මිලියන 500 ක පමණ (ඇ.ඩොලර් මිලියන 3.8 ක) සෘජු විදේශ ඇණවුම් සදහා විමසීම් ලබාගැනීමට සමත්ව තිබීම සතුටට කරුණක්. ශක්තිමත් විදේශ ගැණුම් කරුවන් අපගේ පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය සදහා ඉතා ඕනෑකමින් යුතුව සහභාගී වීම කැපී පෙනුණා. එමගින් ගම්‍ය වන්නේ මේ වන විටත් ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය පිළිබදව ජාත්‍යන්තරව හොද නමක් ගොඩනැගී ඇති බවයි. එමෙන්ම අප නිෂ්පාදන වල තත්වය හා ධාරිතාවය පිළිබදවද ඔවුන් සෑහීමකට පත්ව තිබෙනවා. අපේ නිෂ්පාදකයන් ළමා, කාන්තා හා පිරිමින් සදහා ඔබින, පුඵල් ක්ෂේත්‍රයක පැතිරුණු පාවහන් මෝස්තර නිපදවනවා. අපේ කර්මාන්තකරුවන්ට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ගෝලීය විලාසිතාවන් වෙත ඉතා සීග්‍රයෙන් නැඹුරුවීම් ඇති කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා. එම ගෝලීය ඉල්ලුමට කඩිනමින් සැපයීම සදහා අප කර්මාන්තකරුවන් පුහුණු විය යුතුයි. ඒ වෙනුවෙන් මාගේ අමාත්‍යාංශය හරහා ලබාදිය හැකි සියඵ සහාය මා ලබාදෙන බැව් මෙහිලා සදහන් කිරීමට කැමතියි.”

“පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 2014” ට සමගාමීව පැවැත්වූ මෝස්තර නිර්මාණ තරගාවලියේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය අමාත්‍ය බදියුදීන් මහතා ඇතුඵ ආරාධිතයන් අතින් සිදුවූ අතර, ප්‍රදර්ශනයේ හොදම ව්‍යාපාරික කුටියට හිමි සම්මානය සුපුන් ඒරෝසොෆ්ට් ආයතනය විසින් දිනාගන්නා ලදී. මෝස්තර නිර්මාණ තරගාවලියේ, කාන්තා පාවහන් අංශයේ ප්‍රථම ස්ථානය, ලලිත් රෝහණ සිල්වා මහතා විසින්ද, දෙවන ස්ථානය, චාමර සදරුවන් මහතාද, තෙවන ස්ථානය, තත්සරණී ගුණවර්ධන මිය විසින්ද දිනාගන්නා ලදී. පිරිමි පාවහන් මෝස්තර නිර්මාණ අංශයේ පළමු, දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින්, රොෂාන් සංකල්ප වීරකෝන්, ප්‍රියන්කර පුෂ්පකුමාර හා රනුක චාමින්ද යන මහත්වරුන් විසින් දිනාගන්නා ලදී. බෑග් අංශයේ ප්‍රථම ස්ථානය තිළිණි මධුෂිකා මිය විසින්ද, දෙවන ස්ථානය ඇන්තනි ප්‍රනාන්දු මහතා විසින්ද, තරිදු ආසිරි ජයසිංහ මහතා තෙවන ස්ථානයද දිනාගන්නා ලදී. තවද විශේෂ අංශයේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින්, කේ.දිසානායක මහතාද, නදීරා මධුෂානි වික්‍රමසිරි මියද, චතුර ධනුෂ්ක දිල්ෂාන් මහතා විසින්ද දිනාගන්නා ලදී.

පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ පුද්ගලයින් කිහිප පොලක් විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීමද මෙහිදී සිදුවිය. ඒ අනුව, පී.ජී.මාටින් සමාගමේ, පී.ජී.බී.නිමලසිරි, සින්වා ආයතනයේ, මොහොමඩ් කබීර්, ඩී.එස්.අයි. ආයතනය වෙනුවෙන්, කුලතුංග රාජපක්ෂ, සින්නයියා සිවරාජසිංහම්, ශ්‍රී රාමකුමාර් කනගරාජන්, නිමල් සමරක්කොඩි, නිෂාම්දීන් හෆීෆ්, ෂාවුල් හමීඩ් සහ කේ.පී.කරුණාදාස යන මහත්වරුන් මෙසේ සම්මානයට පාත්‍ර වූහ.

design award 03

පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය ජාත්‍යන්තර වශයෙන් ඉහළ නැංවිය හැකි බැව් රජය හදුණාගැනීමෙන් අනතුරුව ක්ෂේත්‍රයේ උන්නතිය සදහා විවිධ සහන හා දිරිගැන්වීම් ක්‍රියාත්මක කරනු ලැබූ අතර එහි ප්‍රථිථලයක් ලෙස විශාල ලෙස ආනයන මත පදනම්ව තිබූ පාවහන් වෙළදපොළ දේශීය කර්මාන්තකරුවන් අතට පත්විය. මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ වාර්ෂික පාවහන් නිෂ්පාදන ධාරිතාවය යුගල මිලියන 15 ඉක්මවන අතර, කර්මාන්තයේ නිරත සෘජු හා වක්‍ර රැකියාලාභීන් ප්‍රමාණය 40,000 කට අධික වේ. 2012 වසරේ පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 31.19 ක් වන අතර 2013 දී එය ඇමරිකානු ඩොලර් මිලියන 50.88 කි. මෙය 63% ක වර්ධනයකි. 2007 වසරේ ප්‍රථම වරට සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය වසර හයක් තුළ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දක්වා වැඩිදියුණු වී ඇති අතර එතුළින් රටට හිමිකර දී ඇති විදේශ ඇණවුම් ප්‍රමාණය අතිමහත් වේ.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අනුර සිරිවර්ධන, සාම්ප්‍රදායික කර්මාන්ත හා සුඵ හා මධ්‍ය පරිමාණ කර්මාත්‍යාංශයේ ලේකම්, වී.සිවඥානසෝති, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක, බන්දුල එගොඩගේ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති, නවාස් රජාබ්දීන්, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති, පී.ජී.නිමලසිරි, අපනයන සංවර්ධන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක, යූස්ෆ් කේ.මරික්කාර් යන මහත්වරුන්ද, එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සුජාතා වීරකොන් මහත්මියද, ජයග්‍රහන ලබාගත් ප්‍රදර්ශකයන්, නිෂ්පාදකයන් ඇතුඵ විශාල පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *