ශ්‍රී ලංකාව පුංචි දූපතක් වුවත් හුදකලා රාජ්‍යයක් බවට පත්නොවී ජාත්‍යන්තරයට විවෘතකරමින් කර්මාන්ත ක්ෂේත්‍රය සීඝ්‍රයෙන් වර්ධනය කළ යුතුයැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ සිකුරාදා (03) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

අද මෙම ප්‍රදර්ශනය අප අමාත්‍යාංශය වාණිජ මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය හා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරන්නේ නම වැනි වතාවට. මෙවැනි ප්‍රදර්ශන සංවිධානය කිරීමේ මෙරට සිටින කර්මාන්ත කරුවන්ට වෙළෙඳ පොළ අවස්ථා උදාකරගැනීමටත්, නව තාක්ෂණය හඳුනාගැනීමටත් මහෝපකාරී වනවා.

2007 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම ප්‍රදර්ශනය වර්තමානය වනවිට අන්තර්ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් දක්වා දියුණු වී තිබීම මහත් සතුටට කරුණක්. පසුගිය වසරේ පැවැත්වූ ප්‍රදර්ශනය සඳහා ඉතාලිය, බංග්ලාදේශය, කියුබාව, ඉරාකය, පකිස්ථානය, පලස්තීනය, දකුණු අප්‍රිකාව වැනි රටවලින් සම්භාණ්ඩ නිෂ්පාදකයන්, ආයෝජකයන් හා ගැනුම්කරුවන් පැමිණියා. ඔවුන්ගේ ප්‍රදර්ශන කුටි මෙහි පැවැත්වූවා. ඒ නිසා අපේ නිෂ්පාදකයන්ට හැකියාව ලැබුණා ඒ ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳපොළ අවස්ථාවන් හඳුනාගන්න, ඒ මෝස්තර හා මාදිලි අනුව අපේ නිෂ්පාදන දියුණු කරන්න. ඒ විතරක් නෙවෙයි අපිට හැකියාව ලැබුණා ඔවුන් භාවිතා කරන තාක්ෂණය හඳුනාගැනීමට. ඒ රටවල් සමග වෙළෙඳ ගනුදෙනු රැසක් සිදුකිරීමටත් අපට අවස්ථාව ලැබුණා.

පසුගිය වසරවල දී තිබූ අන්තර්ජාතික සහභාගීත්වයට වඩා වැඩි සහභාගීත්වයක් මෙවර තිබෙනවා. එමගින් මේ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වැඩි වැඩියෙන් අන්තර්ජාතික වෙළෙඳපොළට යොමු කිරීමට අපිට හැකියාව ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා. නවීන තාක්ෂණය හුවමාරු කරගැනීමට ද මේ ප්‍රදර්ශනය ඉතා හොඳ වේදිකාවක් වනු ඇත.

මෙය තනි එක් ප්‍රදර්ශනයක් පමණක් නොවෙයි. මෙවැනි ප්‍රදර්ශන අපගේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනයත් අපනයනයත් වැඩිකර ගැනීමට විශාල දායකත්වයක් ලබාදෙනවා. 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ සමස්ථ පාවහන් හා සම්භාණ්ඩ අපනයන ආදායම සියයට 28කින් ඉහළ ගොස් තිබෙනවා.

2020 වනවිට ලෝක පාවහන් හා සම්භාණ්ඩ වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් දක්වා වැඩිවීමට නියමිතයි. මේ අනුව ශ්‍රී ලාංකික නිෂ්පදාන සඳහා ලෝක පාවහන් හා සම්භාණ්ඩ වෙළෙඳ පොළේ හොඳ අවස්ථාවක් අපිට ලබා ගත හැකිවේවි. අපි මේ සඳහා අපේ රටේ නිෂ්පාදන වඩාත් විවිධාංගීකරණයකට ලක්කළ යුතුයි. ක්‍රීඩා පාවහන් සඳහාත් වැඩි ඉල්ලුමක් ඇතිවනවා. දැනටමත් මෙරට නිෂ්පාදනය කරන ක්‍රීඩා පාවහන් සඳහා ලෝක වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් පවතිනවා. අපි මේ තරඟකාරී වෙළෙඳ පොළට පිවිසිය යුතුයි. අපේ නිෂ්පාදකයන් ඒ වෙළෙඳ පොළෙට වඩාත් සංවිධානාත්මකව හා වඩාත් නිර්මාණශීලීව යොමු කිරීම රජයේ වගකීමක් බව අප තේරුම් ගෙන තිබෙනවා. අපි ඒ අනුව කටයුතු කරනවා.

මීට පෙර ශ්‍රී ලංකාවේ පාවහන් අවශ්‍යතාවයෙන් සියයට 80ක් පිටරටින් ගෙන්වූවා. නමුත් අද වනවිට එම ප්‍රමාණය සියයට 20ක් දක්වා පහත දැමීමට අපේ රටේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට හැකිවී තිබීම සතුටට කරුණක්.  ඒ විතරක් නොවෙයි අපේ රටින් පාවහන් අපනයන කිරීම සියයට 306කින් වර්ධනය වෙලා. මෙය ඉතා විශාල වර්ධනයක්. රජයක් ලෙසත් පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන අය ලෙසත් අපි හැමෝම මේ ගැන සතුටුවිය යුතුයි. එය සැබැවින් ම ආඩම්බරයට කරුණක් වනවා.

මේ ක්ෂේත්‍රයේ නියැලී සිටින නිෂ්පාදකයන් විශාල පිරිසක් ඉන්නවා. මහා පරිමාන මධ්‍ය පරිමාන හා සුළු පරිමාන කර්මාන්ත කරුවන් සිටිනවා. මේ ප්‍රමාණය 3000ට වැඩියි. වැඩිපුරම සිටින්නෙ සුළු පරිමාන කර්මාන්ත කරුවන්. ඇතැම් නිවෙස්වල පවා සපත්තු නිෂ්පාදනය කෙරෙනවා. නමුත් ඒවා පවා ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඉතාමත් සුදුසුයි. එයින් අපට පෙනී යනවා. අපේ කර්මාන්ත කරුවන්ගේ දක්ෂතාව හා හැකියාව.

පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රය නගා සිටුවීමට මම මගේ අමාත්‍යාංශයේ විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටිනවා. රුපියල් ලක්ෂ 190ක් වැය කර පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන පුහුණු පාසලක් රත්මලාන පේෂකර්ම හා ඇගළුම් පුහුණු ආයතනයේ ස්ථාපිත කර තිබෙනවා. එමෙන් ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස් කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 450ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කරනවා. එමෙන් ම පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනයේ දී අවශ්‍ය සම් ඇතුළු අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ දී බදු සහන ලබා දී කර්මාන්තකරුවා දිරිමත් කරන්නත් අපි කටයුතු කර තිබෙනවා.

අපි දන්නවා පාවහන් පමණක් නොවෙයි මෙරට නිෂ්පාදනය කරන වෙනත් සම්භාණ්ඩ මිලදී ගැනීමට අපේ රටට පැමිණෙන විදේශිකයන් පවා දැඩි උනන්දුවක් දක්වනවා. මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ අපේ නිෂ්පාදකයන් ඉතා හොඳ ගුණාත්මක තත්ත්වයකින් තම නිෂ්පාදනය කිරීම හා නව මෝස්තර නිතර නිතර වෙළෙඳ පොළට හඳුන්වාදීම හේතුවෙන්.

මේ තත්ත්වය තවත් වැඩි දියුණු කරන්නත් පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් ආරක්ෂා කරගනිමින් කර්මාන්තය වඩාත් දියුණු කරන්නත් මා මට හැකි උපරිම දායක්තවය හා කැපවීම ලබා දෙනවා.

කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

7M8A4523 7M8A4534 7M8A4538 7M8A4619

Leave a Reply

Your email address will not be published. Required fields are marked *