ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධ ද්වීපාර්ශ්වික සමුද්‍රික රෝපන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයින් රජය කැමැත්ත පළකොට තිබෙනවා. ලොව ඉහළ මිළක් හා ඉල්ලුමක් සහිත මුහුදු කැකිරි නම් මත්ස්‍යයින් මෙරට මන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වගාකොට අපනයනය කිරීම එම ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට යෝජිතයි.
මේ පිළිබඳ කරුණු හෙළිදරව් වූයේ, මාලදිවයින් මුදල් හා භාණ්ඩාගාර අමාත්‍ය, අබ්දුල්ලා ජිහාඩ් (Abdullah Jihad) මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා අතර පැවති ද්වීපාර්ශ්වීය සාකච්ඡාවකදීය. පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාව සඳහා මාලදිවයින් නිවාස හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය, මොහොමඩ් හායිස් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක්ද සහභාගී වූහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මාලදිවයින් මුදල් අමාත්‍යවරයා, සාගර සම්පත් විවිධාංගීකරණය තම රජයේ ප්‍රධාන ව්‍යාපෘතියක් බැව් සඳහන් කළේය. එමෙන්ම මුහුදු කැකිරි, ජාත්‍යන්තර වෙළඳ පොළ තුල ඉහළ ඉල්ලුමක් හා දුර්ලභ නිෂ්පාදනයක් බැව් පෙන්වා දුන් අබ්දුල්ලා ජිහාඩ් මහතා, මේ සඳහා ඉහළම ඉල්ලුම පවතින්නේ බටහිර වෙළඳපොල තුල නොව, අග්නිදිග ආසියාව තුල බවද සඳහන් කළා.
මාලදිවයින් මුදල් ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, “මාලදිවයින් පෞද්ගලික අංශයේ සමාගමක් විසින් ශ්‍රී කාවේ මන්නාරම් සාගරය ආශ්‍රිතව සිදුකළ නියාමන ව්‍යාපෘතියක් මත පෙනී ගිය කරුණක් වන්නේ, මාලදිවයිනේ වේගයට වඩා දෙගුණයක වේගයෙන් එම කලාපය තුළ මුහුදු කැකිරි වර්ධනය වන බවයි. ඊට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සාගර ජලයේ ඉහළ ගුණාත්මක බව හා එම මුහුදු ප්‍රදේශයේ රොන්මඩ වල ඇති පෝෂණීය තත්වයයි. මෙම නියාමන ව්‍යාපෘතියේ ප්‍රතිථල අනුව අප විශ්වාස කරන්නේ, මෙම ව්‍යාපෘතිය මගින් ඉහළ නිෂ්පාදනයක් ලබාගත හැකි බවයි. එමෙන්ම මෙමගින් දෙරටටම ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමේ ශක්‍යතාවයක් පවතින බැවින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා.”
දූත පරිස ඇමතූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, ඉන්දීය සාගරයේ දූපත් රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව හා මාලදිවයින සමාන සාගර නිෂ්පාදන සිදුකරන හා ඒ පිළිබඳ සමඅත්දැකීම් සහිත දෙරටක් බැව් පැවසීය. 2006 වසරේදී දෙරට අතර ඒකාබද්ධ කොමිසමක් මගින් සාගර සම්පත් කළමණාකරණය පිළිබඳ සහයෝගීතාවය පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කළ බැව්ද අමාත්‍ය බදියුදීන් මහතා සිහිපත් කළේය. දෙරටේ සමාගම් දෙකක් විසින් සිදුකළ මුහුදු කැකිරි වගාකිරිමට අදාල නියාමන ව්‍යාපෘතිය ඉහළ ප්‍රතිථල අත්කර ගැනීම සතුටට කරුණක් බැව්ද හෙතෙම පැවසීය.
maldives 01
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, “ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ යෝජනා කර ඇති අපනයන ප්‍රවර්ධන වැඩසටහනටද මෙම ව්‍යාපෘතිය හොඳින් අනුගත වෙනවා. මෙම ව්‍යාපෘතියේ මීලඟ අදියර ආරම්භ කිරීම සඳහා ධීවර අමාත්‍යාංශයේද සහයෝගය අත්‍යාවශ්‍ය බැවින්, මෙහි ව්‍යාපෘති වාර්තාව එම අමාත්‍යාංශය වෙත යොමුකරන මෙන් ඉල්ලනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතිය හරහා අප දෙරටේම ධීවර නිෂ්පාදන ක්ෂේත්‍රයට වැඩි වාසි අත්කර ගත හැකි වනු ඇති.”
ඉහළ ඉල්ලුමක් සහිත මුහුදු කැකිරි වල ගෝලීය වාර්ෂික නිෂ්පාදනය ටොන් 130,000 කි. එමෙන්ම මුහුදු කැකිරි කිලෝවක දැනට පවතින මිළ වන්නේ ඇමරිකානු ඩොලර් 75-210 කි. 2013 වසර වන විට ශ්‍රී ලංකා – මාලදිවයින් ද්වීපාර්ශ්වීය වෙළඳ අගය ඩොලර් මිලියන 72 ක් වූ අතර, එම වසරේදී මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ නිෂ්පාදනයන්ගෙන් 81% ක්ම ධීවර හා මත්ස්‍ය නිෂ්පාදනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *