අපගේ සමුපකාර ව්‍යපාරයට අභිමානවත් ගෞරවයක් හිමි කර දෙමින්, සමුපකාර ව්‍යාපාරය තුළ නවෝත්පාදනයන්ට දිරිය දෙමින් විවිධ සහයෝගී පාර්ශවයන් සමඟ හවුල් ව්‍යපාර ගොඩ නගමින් ඉදිරියට ගමන් කරන බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

තිරසාර සංවර්ධන ගෝලීය ඉළක්ක කේන්ද්‍ර කරගෙන අපගේ සමූපකාරය සංවර්ධනය කිරීමට මේ වන විටත් රජය පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2018 ජූලි 07 වනදාට යෙදී තිබෙන ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් ශුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය…

“අපගේ රාජ්‍ය සුභ සාධන මෙහෙවරේ පුරෝගාමීයා වන සමූපකාර ව්‍යාපාරය ගෙවී ගිය සියවසකට අධික කාලය තුළ ලාභය පමණක් පරමාර්ථ කර නොගෙන, රටේ සමස්ත පුරවැසියන්ගේම පොදු ජන යහපත උදෙසා ඔවුන්ගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් කරන ලද මෙහෙවර අති විශාලයි. ඒ වගේ අපේ සමූපකාර ව්‍යාපාරය තවදුරටත් පුණ්‍යාධාර සපයන සංවිධානයක් නොවන බැවින්, ඔවුන්ගේ උන්නතිය උදෙසා සිදු කළ යුතු වියදම් වෙනුවෙන් සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට උපාය මාර්ගිකව සැලසුම් කළ යුතුයි. ඒ වගේම සමූපකාරය අනෙකුත් තරගකාරී ආයතන සමඟ තරඟ කරමින් වෙළෙඳපොළ ආර්ථිකයට සාර්ථකව මුහුණ දිය යුතුයි. ඒ සඳහා අපේ සමුපකාර ව්‍යාපාරය යෝග්‍ය උපාය මාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි. එමඟින් වෙළෙඳපොළ තරඟකාරීත්වය හා තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ව්‍යාපාර හා සේවාවන් අලෙවි කිරීම තුළින් ඉහළ ලාභාංශයකට ළඟා වීමට පුළුවන්. ඒ වගේම අපගේ සමූපකාර ව්‍යාපාරය ඔවුන්ගේ සංස්කෘතිය සහ අනන්‍යතාව මෙන්ම ඔවුන්ගේ මූලධර්ම හා වටිනාකම් පදනම් කරගෙන ගොඩ නගා ගෙන තිබෙන බව අප හොඳින් මතක තබා ගත යුතුයි.

ලෝකයේ සමුපකාර ව්‍යාපාරය 1844 දී එංගලන්තයේ රොච්ඩේල් නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුණ සාධාරණත්වයේ පුරෝගාමීන්ගේ සමාජයේ සේවා හේතුවෙනුයි. මෙම සාධාරණ සමූපකාර සංකල්පයට නිර්මාතෘත්වය දෙන්නේ රොබට් ඕවන් (Robert Owen) මහතායි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ වර්ෂ 1906 දීය. එසේම මෙම සමූපකාර ව්‍යාපාරයට 1911 අංක 07 දරණ සමුපකාර සමිති ආඥා පනතින් නීත්‍යානුකූල භාවයක් ලබා දෙනවා. එ් අනුව විධිමත් ලෙස සංවිධානය වන ශ්‍රී ලංකා සමූපකාර ව්‍යාපාරය සිය ප්‍රථම සමුපකාර සමිතිය දුම්බර මිටියාවත සමූපකාරය ලෙසින් ආරම්භ කෙරෙනවා. එදා මෙදාතුර අපගේ සමූපකාර ව්‍යාපාරය අප රටේ නියම්ගම් සිසාරා විහිදී පැතිරී ගිය දැවැන්ත පාරිභෝගික සේවා අලෙවි සැල් ජාලයකින් යුක්ත වෙනවා.

මෙම 96 වැනි ජාත්‍යන්තර සමූපකාර දින උළෙලේ මෙවර තේමාව වන්නේ සමූපකාරය, තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදන සහ පරිභෝජනය යන්නයි. මෙම වෙළෙඳපොළ ආර්ථිකය තුළ සමූපකාරය ඔස්සේ තිරසර ලෙස භාණ්ඩ හා සේවා නිෂ්පාදන පරිභෝජන සඳහා ජනතාවට ලබා දීමේ අභියෝගය රැසක් මේ වන විටත් අප හඳුනාගෙන, ඒවා ජයග්‍රහණය වෙත රැගෙන ගොස් තිබෙන බව සතුටින් සඳහන් කරන්න ඕන. අප මේ වන විටත් අපගේ සමූපකාරිකයන්, සේවා හා භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොමු කර සිටින බව සතුටින් සඳහන් කරන්න ඕන. මේ සඳහා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලබා දෙන සහයෝගය හා මඟපෙන්වීම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ අනුව අපගේ සමුපකාර ව්‍යාපාරය නව මුහුණුවරකින් යුතුව එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉළක්ක විජයග්‍රහණය කිරීම සඳහා යන ගමනේදී අපගේ සමස්ත සමූපකාර නායක නායිකාවන් සහ සේවක සේවිකාවන් ලබා දෙන සහයෝගයට හා කැපවීමට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.” යනුවෙන් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *